fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

අපිව අවුස්සාගන්න එපා: උතුරු කොරියානු නායකයාගේ සහෝදරියගෙන් ඇමරිකාවට තගක්!

කිම් යෝ ජොං කියන්නේ උතුරු කොරියාවෙ රොකට් මෑන් හෙවත් අපි කවුරුත් දන්න කිම් ජොං උන්නැහේගෙ නංගි. ඇය ලෝක බලවතා වූ ජෝ බයිඩන් මහත්තයාගෙන් ගේම ඉල්ලලා තිබෙනවා. තමන්ව අවුස්සා ගන්න එපා යැයි ඇය ඇමෙරිකානු නව ජනාධිපති වරයාට අනතුරු ඇඟවූවා.

කිම් ජොන් උන්ගෙන් පසුව උතුරු කොරියාව පාලනය කරනු ඇතැයි වඩාත්ම විස්වාස කළ හැක්කේ ඔහුගේ සොහොයුරිය වන කිම් යෝ ජොන් බව කියවෙනවා. ඇය දැනටත් එරට දෙවන බලවත්ම චරිතය වෙනවා. කිම් ජොං අයියණ්ඩිව යම් තරමකින් හෝ පාලනය කළ හැක්කේ කිම් යෝ නැගනියට පමණයි. හුදකලා උතුරු කොරියානු රාජ්‍යයයේ බොහෝ ප්‍රතිපත්තිය සම්පාදනය වන්නේ කිම් යෝ අතින් බවටයි බොහෝ අය විස්වාස කරන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ නෙවෙයි. බයිඩන් මහත්තයා ලෝකයේ අනෙකුත් රටවල් ඇමෙරිකානු බල ආධිපත්‍යය තුළ තබා ගැනීමේ සම්ප්‍රදායික ඩිමොක්‍රටික් දේශපාලනය ගැන විස්වාස තබන ජාත්‍යන්තර වාදියෙක්. ඒ නිසා ට්‍රම්ප් යුගයට වඩා ජාත්‍යන්තර දේශපාලනයේ ඇමෙරිකානු බලපෑම වැඩි වෙන එක වළක්වන්න බැහැ. කිම් ජොන් උන්ගේ බලගතු සහෝදරියත් කෝප වී ඇත්තේ බයිඩන් පාලනය විසින් කොරියානු අර්ධද්වීපයට කරන ඇඟිලි ගැසීම් වැඩි කර ඇති නිසයි.
උතුරු කොරියාවේ රාජ්‍ය රූපවාහිනිය හා එක් වෙමින් කිම් යෝ-ජොං එක්සත් ජනපදය හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම විවේචනය කළා. ඇය එහෙම කිව්වේ ඇමෙරිකානු නිලධාරීන් දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණීමට දිනකට කළින්.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාව හැමදාම පසු වූයේ සැකයකින්. ඊට අමතරව ශක්තිමත් දකුණු කොරියානු ආර්ථිකය ඇමෙරිකාව සමඟ සමාන්තරව ගමන් කරන්නක්. උතුරු කොරියාවේ නාහෙට නාහන වැඩ නිසා දකුණු කොරියාවේ හා ජපානයේ ආර්ථිකයන් කඩා වැටෙනවාට ඇමෙරිකාව කැමති නැත්තේ එය ඇමෙරිකානු ආර්ථිකයේත් අවගමනයක් වන නිසාමයි. ඒ නිසා කිම් ජොන් උන් මොන සෙල්ලම් දැම්මත් මැදපෙරදිග කලාපයේ වගේ කොරියානු අර්ධද්වීපයේ සාමය කඩවෙනවාට ඇමෙරිකාව ඒ තරම් මනාපයක් නැහැ.මේක හොඳින් දන්න කිම් ජොන් උන්නැහේ ඉඳලා හිටලා ඇමෙරිකාවෙන් ගේම ඉල්ලලා තමන්ගේ කිම් පවුල වෙනුවෙන් පණ වුනත් දෙන්න සූදානම් උතුරු කොරියානු බයියන්ට පොඩි ආතල් එකක් දෙනවා.

කිම් ජොන් ළමයට බයිඩන් මහත්තයත් එක්ක තවම ඒ තරම් ඇයි හොඳයියක් නැහැ. ඒත් කොල්ලා ට්‍රම්පච්චි එක්කනම් හිටියේ ටින් ටින් සහ කැප්ටන් හැඩොක්‍ වගේ. මුල් කාලයේනම් ට්‍රම්ප් මහත්තයා කිම් ජොන්ට කිව්වේ රොකට් මෑන් කියලයි. ට්‍රම්ප්ටත් මැන්ටලේ නැත්නම් පිස්සු නාකියා (Dotard) කියලා රොකට් මෑන්ගෙන් අහගන්න වුණේ ඒ නිසයි. තමන්ගෙ ව්‍යාපාරික මිතුරෙකු වන දකුණු කොරියාවට කොකං පාන්න ආවොත් උතුරු කොරියාව බිමට සමතලා කරන බව ට්‍රම්පච්චි 2017 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේදිම කිව්වා. ඒත් ඉතින් පස්සේ කවුරුත් නොහිතපු විදියට ඩබල දෙපාරක්ම හමු වුණා. මුලින් 2018 දී සිංගප්පූරුවෙදි. පස්සේ 2019 දි වියට්නාමයේ හැනෝයි අගනුවරදි. ඇමෙරිකානු ජනාධිපතිට අයත් නිල ගුවන්යානය වන Air force ONE යානයෙන් රවුමක් යන්නත් ට්‍රම්ප් මහත්තයා කිම් ජොන් කොලුවට ආරාධනා කළා කියලා මෑතකදී හෙළි වුණා.

කොහොම නමුත් බයිඩන් පාලනයත් උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන්න සති ගණනාවක් තිස්සේ උත්සාහ කරමින් ඉන්න බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. ඒත් ඇමෙරිකාවේ දැන් බලයේ ඉන්නේ ජෝ බයිඩන් බව කිම් ජොංගේ පියොන්යැං ආණ්ඩුව තවමත් පිළිගෙන නැහැ.

ආයෙත් කිම් යෝ ජොං නංගිගේ කතාවට ගියොත් මහ මුහුදේ විකාර නටා තමන්ගේ භූමියට වෙඩි බෙහෙත් සුවඳ පතුරවන්න එන්න එපායැයි තමන් ඇමෙරිකාවේ නව පරිපාලනයට උපදෙස් දෙන බව ඇය එරට Rodong Sinmun පුවත් පතට පවසා තිබෙනවා. ඉදිරි අවුරුදු හතර තුළ නිවිහැනහිල්ලේ නිදා ගැනීමට ඕනෑ නම්, මුල් අවස්ථාවේ සිටම වෙඩි බෙහෙත් සෙල්ලම් දමන එක නවත්වා ගන්නැයි ඇය වැඩිදුරටත් කියා සිටිනවා. දකුණු කොරියාව සමඟ ඇමෙරිකාව කරන ඒකාබද්ධ මිලිටරි අභ්‍යාස වලට තමන් විරුද්ධ වන්නේ ඒවා තම රට ආක්‍රමණය සඳහා වන සූදානමක් පෙන්නුම් කරන නිසා බව කිම් යෝ ජොං කියා සිටිනවා.

-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator