වෙළඳ පොල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය පවතින බවට ජනතාව දැනුවත් නොකළේ ඉන් ජනතාව බියට පත්වන නිසා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා පවසයි.
පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳව හෙළිදරව් කරන විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා මෙසේ පවසා තිබේ.
“මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.” යනුවෙන් එහිදී පවසා තිබේ.
කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියද රූපවාහිනි නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ වෙළඳ පොල තුළ විෂ රසායන සහිත ආහාර ද්‍රව්‍ය පවතින බවත් ඒ පිළිබඳව හෙළිදරව් කළහොත් එම සමාගම් කඩා වැටෙන නිසා හෙළිදරව් කළ නොහැකි බවයි.
අලගියවන්න ඇමතිගෙන් කැකිල්ලේ තීන්දුවක්
මේ අතර ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වීමේ සිදුවීමේ වගකීම රේගුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ඊට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන විසින් බාරගත යුතු බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.
“ආයතන ගණනක මේකෙ අඩු පාඩුකම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව මේ ක්‍රියාවලිය පිළිබඳව, ඒක හැබැයි අද හෝ ගිය සුමානෙ සිදුවුණ දෙයක් නෙවෙයි. දශක දෙක තුනක් තිස්සෙම සිදුවුණු ක්‍රියාවලියෙ අඩුපාඩුවක් තියෙන්නෙ. මේ ක්‍රියාවලියෙ අඩුකමක් විදියට සියලුම රාජ්‍ය ආයතන වගකීම බාරගත යුතුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒවගේම රේගුව, ප්‍රමිති ආයතනය ඇතුළු ඒ ආයතන සියල්ලක්ම වගකීම බාරගත යුතුයි. පාරිභෝගික අධිකාරියට පැවරෙන වගකීම තමා වෙළඳපොලට මේවා නිකුත් වුණාට පස්සෙ, ඒ පිළිබඳව යම් අඩුපාඩුකමක් සිද්ධ වෙලා තියෙනවා නම් පාරිභෝගික අධිකාරියත් ඒ වගකීම බාරගත යුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (14) ගම්පහ ප්‍රදේශයේදී අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.