ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙන අතර, පෙරේදා දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑපන්දහස ඉක්මවා ඇත. එය මෙතෙක් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන අතර, ඊට පෙර දින ආසාදිතයන් දෙලක්ෂ හැටදහස ඉක්මවා ගියේය.
නවදිල්ලි අගනුවර ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා වනතුරු අගුළු ලෑමට පියවර ගෙන ඇති අතර, රට පුරා රෝහල්වල ආසාදිතයන් සඳහා වෙන් කළ ඇඳන් සහ දැඩි සත්කාර අංශවල ඔක්සිජන් ප්‍රමාණවත් නොවන බවත් වාර්තා වේ.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි එකහමාර සීමාව පසු කර ඇතැයි ද වාර්තා වේ.
මේ මොහොතේ අගනුවර වසා නොදැමුවහොත් තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇතැයි නවදිල්ලි ප්‍රධාන ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කර තිබේ.
මෙවැනි පසුබිමක් පැවැතියද එරට ඇතැම් ප්‍රාන්තවල පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් දේශපාලන පක්ෂ තව දුරටත් දැවැන්ත මහජන රැලි පවත්වමින් සිටින බව ද වාර්තා වේ.
මේ අතර හින්දු ආගමික උත්සවයක් වන කුම්භ මේලා උත්සවයට සහභාගි වූ මිලියන ගණනක බැතිමතුන්ට සති දෙකක කාලයක් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.
මේ වන විට ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් කෝටි 14ක්, මරණ ලක්ෂ 30ක් වාර්තා වී ඇති අතර, වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ්-19 වසංගතය නතර කිරීමට හැකි වන්නේ නිසි ආකාරයට ආරක්ෂක පියවර අනුගමනය කිරීමෙන් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවමින් සිටී.
එන්නත ලබාගත් පුද්ගලයන්ට ද නැවත නැවත රෝගය වැළඳෙන අවස්ථා වාර්තා වී ඇති අතර, එය විකෘති වයිරස් තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.
කොවිඩ් මර්දන එන්නත් සොයා ගනු ලැබුවද එම එන්නත කෙතරම් කාලයක් මිනිස් සිරුරේ පවතින්නේ දැයි යන්න ගැන තවම නිශ්චිතව ප්‍රකාශ කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බවත්, වසංගතය කෙතරම් කලක් පවතී ද එය අඩු වීමට කෙතරම් කලක් ගත වේ දැයි යන්නත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් පර්යේෂකයන්ගේ මතය වී තිබේ.
ලොව වැඩිම කොවිඩ් ආසාදන ඇති අමෙරිකාවේත්, ආසාදන අතින් දෙවැනි මට්ටමේ පසුවන ඉන්දියාවේත්, කොවිඩ් මරණ අතින් දෙවැනි ස්ථානයේ පසුවන බ්රසීලයේත් සංඛ්‍යා දත්ත ඉතාම අවදානම් තත්ත්වයක පවතින අතර, පෙරේදා වන විට අමෙරිකාවේ කොවිඩ් ආසාදන 32,404,454ක් ද මරණ 581,061ක් ද, ඉන්දියාවේ ආසාදන 15,061,919ක් සහ මරණ 178,793ක් ද, බ්‍රසීලයේ ආසාදන 13,943,071ක් ද, මරණ 373,442ක් ද වාර්තා වී තිබිණි.