fbpx
logo
Info Sri Lanka | www.infosrilanka.lk

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

ජීවිතේ සමහර තැන් තියෙනවා අපි කතා කරන්නෙ නැතුව සාවධානයෙන් ඇහුම්කන් දිය යුතු. ඒ වගේ වෙලාවට ඇහුම්කන් දීම නිසාම අපිට දේවල් ඉගෙන ගන්න, අවබෝධ කරගන්න සහ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි අවාසනාවකට වගේ ගොඩක් මිනිස්සු ඒ වගේ මොහොතකදී කරන්නේ හයියෙන් කෑ ගහන එක. අන්න ඒක තමයි ගැටළුව.

ඒ වගේම තවත් අවස්ථා තියෙනවා අපි බය නැතුව කතා කරන්න අවශ්‍ය. හයියෙන් කෑ ගහන්න අවශ්‍ය තැන් නෙවෙයි, හැබැයි ඒත් නොබියව කතා කරන්න ඕන තැන්. ඒත් අවාසනාවකට වගේ ගොඩක් මිනිස්සු ඒ වගේ තැන් වලදී නිහඬයි. දැක්කේ නෑ වගේ ඉන්නවා. මෙහෙම කතා කරන්න ඕන තැන් කියලා අපි කියන්නේ වැරැද්දක් වෙන තැන් බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. සමහර වෙලාවට වැරැද්ද වෙන්නේ තමන්ට වුණත්, ඒත් මිනිස්සු කටක් අරින්නෙ නෑ. බයට වෙන්න පුළුවන්. ලැජ්ජාවට වෙන්න පුළුවන්. ඔය හැමදේටමත් වඩා මොකටද අනේ අහක යන ප්‍රශ්න අපේ ඇඟේ දාගන්නේ කියන ආකල්පේ නිසා වෙන්න පුළුවන්. හැබැයි ඔය ෂේප් එකේ ඉන්න න්‍යාය නිසා සිද්ධ වෙන්නේ, වැරැද්දක් කරන්න තව කෙනෙක් ධෛර්යමත් වෙන එක. වැරැද්ද සාමාන්‍යකරණය වෙන එක. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ මිනිස්සු බය නැතුව කතා කළ යුතු, එදිනෙදා සිද්ධ වෙන සාමාන්‍ය අවස්ථා කීපයක් පෙන්නලා දෙන්න.

1. ෆුඩ්සිටියේ පෝලිම පනිනකොට

මේක හැමවෙලේම සිද්ධ වෙන දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි නොවෙන දේකුත් නෙවෙයි. ඒ තමයි “බයිබෝස්” එකෙන් හරි ෂේප් න්‍යායෙන් හරි පෝලිම් පනින එක. ෆුඩ්සිටියේ විතරක් නෙවෙයි, ෆාමසි පෝලිමේ, බස් පෝලිමේ, ඒටීඑම් පෝලිමේ, බිල් පෝලිමේ ඉඳලා වෙන ඕනම පෝලිමක මේක සිද්ධ වෙනවා. ඔන්න අපි පෝලිමේ ඉන්නකොට ෆෝන් එක එහෙම අතට අරගෙන මොකක් හරි බල බලා ඉන්නකොට එකෙක් ෂේප් එකේ අපිට ඉස්සරහින් හිටගෙන දන්නෙ නෑ වගේ ඉන්නවා. ආන්න එතකොට පිටට තට්ටු කරලා අහන්න ඕන “මහත්තයා/නෝනා වැඩේ වැරදියි නේද?” කියලා. 

ඔය පෝලිම් සීන් එකේ තව සෙල්ලමක් තියෙනවා. පෝලිමේ ඉන්න කෙනෙක් තමන්ගේ දන්න අඳුනන කෙනෙක්, යාළුවෙක් ආවහම එයාව ෂේප් එකේ පෝලිමේ තමන් ඉන්න තැනට ගන්නවා. ඒකත් වැරදියිනේ. අලුතින් එන මහරාජා වුණත් යන්න ඕන පෝලිමේ කෙළවරට. ආන්න එතකොටත් අපි හඬ අවදි කරන්න ඕන.  

2. බස් එකේ කොන්දොස්තර ඉතුරු සල්ලි නොදෙනකොට

දැන් බස් එකක් ගත්තහම බස් එකේ සර්වබලධාරියා වෙන්නේ කොන්දොස්තර උන්නැහේනේ. එයාගේ වචනේ තමයි සාමාන්‍යයෙන් අන්තිම වචනේ. ඒ නිසාම ඉතින් ඔය මගී ප්‍රජාවත් සාමාන්‍යයෙන් කොන්දොස්තර උන්නැහේට බයයි. අන්න ඒ නිසා කොන්දොස්තර මහත්තයා ඉතුරු සල්ලි රුපියල දෙක තුන පහ දෙන්නෙ නැතුව අමතක වුණා වගේ ඉන්නකොට ගොඩක් අය ඒක ඉල්ලන්න යන්නෙත් නෑ. එහෙම ඉල්ලන්න යන්නෙ නැත්තේ “අනේ ඔය රුපියල කමක් නෑ, පිනටනේ දුන්නේ” කියන අදහසින් නෙවෙයිනේ. ඉල්ලන්න යන්නෙ නැත්තේ “රුපියල් පහක්නේ. ඔය පහට කොන්දගෙන් බැණුම් අහගන්න ඕනැයි” කියන නියාළු ආකල්පය නිසා නෙවෙයිද? ආන්න ඒ නිසා බහින්න කලින් හරි කොන්දොස්තර මහත්තයට ඉතුරු සල්ලි මතක් කරන්න ඕන. අන්න ඒක තමයි හරි විදිය !

3. පක්ෂේ එකෙක්/පවුලේ එකෙක් වැරැද්දක් කරනකොට

මේ ගැන නං ඉතින් කියලා වැඩක් නැති තරමයි. ඇයි ?

මේ සිරිලංකාවේ වැඩිහරියක් වෙන්නේම ඔය වගේ දේවල් තමයි. ඇත්තටම ලංකාවේ දේශපාලන පක්ෂයක් කියන්නෙත් ගොඩක් දෙනෙක්ගේ පවුල වගේ තමයි. ඒ තරමටම වහල්ලු. ඉතින් එතකොට තමන්ගේ දේශපාලන පක්ෂේ ඉන්න කෙනෙක් මොන වැරැද්දක් කළත්, අර වහල්ලු නෙවෙයි කට හොල්ලන්නේ. පුළුවන් තරම් හෝදන්න, ෂේප් කරන්න ට්‍රයි කරනවා. ඒක බැරි නම් “ඇයි අර අහවල් පක්ෂේ උන්දැලත් මෙහෙම කළේ, එහෙම එකේ මෙව්වා මොනාද” කියලා කියනවා. එහෙමත් බැරි නම් පොළොස් මාලුවක් උයන්නේ මෙහෙමයි, ගෙදරදීම පොල්තෙල් හිඳගන්නේ මෙහෙමයි කියලා මාරු වෙනවා. එහෙම කොඳු කඩාගෙන ජීවත් වෙලා මොකටද? වැරැද්ද නම් කවුරු කළත් වැරැද්ද. එච්චරයි!

ඕකම තමයි ඉතින් තමන්ගේ පවුලේ කෙනෙක් වැරැද්දක් කළත්. අපිට පුළුවන් වෙන්න ඕන අම්මා තාත්තා කළත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න. එතනදී කතා කරන්න. ඒ වගේම තමන් අතින් වැරැද්දක් වුණත් ඒ ගැන කතා කරන්න.

4. කාගේ හරි වැරැද්දකින් අපිටත් වාසියක් සෙට් වෙනකොට

සාමාන්‍යයෙන් ගොඩක් අවස්ථාවාදී මිනිස්සු පොදුවේ කතා කරනකොට දූෂණයට, වංචාවට අරකට මේකට බැන්නට, එහෙම කෙරෙන වැරැද්දකින් තමන්ටත් වාසියක් සෙට් වෙනවා නම් ෂේප් එකේ ඒක දැක්කෙ නෑ වගේ, තමන්ගේ වාසිය අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න දෙන්නේ පාස් එකට. දැන් පාස් නැති උන්දැලත් ඔතන ටැක් ගැහි ගැහී ඉන්නවා. ඒ අතරේ හොරෙන් පනින එවුන්ට, ඉස්පිරිතාලේ දොස්තරලගේ, නේස් මිසීලගෙ පවර්ස් පිට ඇතුළට යන අයට බනිනවා. ඒ අතරේ ඔන්න එකෙක් පොඩි අල්ලසක් දීලා ඇතුළට යන්න මාර්ගයක් සෙට් කරගන්නවා. ඕන නං පොඩි ගාණක් දීලා අපිටත් එන්න කියනවා. එතකොට අර ඉස්පිරිතාල පෝලිමේ තියෙන දූෂණ වංචා ගැන කතා කර කර හිටපු මහත්තුරු නෝනලා ඒ මනුස්සයටත් බැණලා ඒ වැඩේ වැරදියි කියනවද? නෑ. තමනුත් ෂේප් එකේ ඇතුළට යනවා.

අන්න එතනදී තමන්ට වෙන වාසියක් හෝ අවාසියක් නොතකා හැරලා, වැරැද්ද වැරැද්දමයි කියලා බය නැතුව කතා කරන්න පුළුවන් අය ඉන්නවා නේද, අන්න උන් තමයි නියම මිනිස්සු !

5. බස් එකේ කෙනෙක්ට හිරිහැරයක් වෙනකොට

දැන් ඔය බස් එකක යද්දි එහෙම කාන්තා පාර්ශවයට නොයෙකුත් හිරිහැර අතවර සිද්ධ වෙනවනේ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් දැක්කත් ගොඩක් දෙනෙක් කරන්නේ නොදැක්කා වගේ ඉන්න එක. හැබැයි ඔන්න අතවරයට, හිරිහැරයට ලක් වෙන කාන්තාව කෙලින්ම සද්දෙන් ඇමතුවොත් එහෙම, ආන්න එතකොට බස් එකේ ඉන්න අනික් ඔක්කොම ගෑණු පිරිමි වීරයෝ වෙනවා. අර අතවර හිරිහැර කරපු මිනිහට බැණලා, ගහලා බස් එකෙනුත් බස්සනවා. හරි, ඇයි ඒක කලින් කරන්න බැරි වුණේ? මොකද, හිරිහැර අතවර වලට ලක් වෙන හැමෝටම කතා කරන්න ධෛර්යයක් නෑ. ඉතින් ඇයි එහෙම කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ට මුලින්ම ඉදිරිපත් වෙලා ඒක නවත්තන්න බැරි වුණේ?

එක්කෝ අර කියපු නියාලු, බියගුළු කම. එක්කෝ අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, අනුන්ගේ අහක යන ප්‍රශ්න අපිට ඕන නෑ කියන ආකල්පය. එක්කෝ සමහර විට එහෙම අපි කතා කළහම අර අතවරයට ලක් වුණා වගේ පේන කෙනා කතා කරලා “ඔයාට මොකටද අනුන්ගේ එව්වා, ඒක එයයි මායි බලාගන්නම්’ වගේ ටෝකක් දෙයි කියන බයත් වෙන්න පුළුවන්. හැබැයි වැරැද්දක් දැක්ක තැන කතා කරන්න ඔය එකක්වත් අදාළ වෙන්න ඕන නෑ. වැරදියි නම් වැරදියි. කාටහරි හිංසාවක්, හිරිහැරයක්, අතවරයක් කරනවා දැක්ක තැන අපි කතා කරන්න ඕන. වින්දිත පාර්ශවය අපිට වැඩක් බලාගන්න කිවුවොත්, එයාටත් කියන්න ඕන මේ කතා කරන්න එයා වෙනුවෙන් නෙවෙයි, වැරැද්ද වළක්වන්නයි කියන එක. එච්චරයි.

6. කෙනෙක්ව සෝෂල් මීඩියා වල බුලී කරනකොට

ඇත්තටම අපි ජීවිතේ කොහේදී දැක්කත් කෙනෙක්ව තවත් කෙනෙක් බුලී කරනවා, අපි වින්දිතයාගේ පැත්තේ හිටගත යුතුයි. දැන් ඔය බුලී කිරිල්ල, ඒ කියන්නේ දුබලයෙක්ව අල්ලගෙන තලාපෙලා හිරිහැර කරන එක සෝෂල් මීඩියා වල එහෙම අපි හරියට දකිනවනේ. එතකොට අපි මොකද කරන්නේ? එක්කෝ දැක්කෙ නෑ වගේ ඉන්නවා. එහෙම නැතිනම් ඒක දිහා බලාගෙන ඉඳලා පස්සේ ගිහින් තමන්ගේ වෝල් එකේ පත හෑලි ලියනවා. ඔය එකක්වත් හරි දේවල් නෙවෙයි. සාධාරණ බුලී කිරීම් නෑ. අන්න ඒ නිසා කළ යුතු දේ වෙන්නේ ඒ වගේ දෙයක් දැක්ක තැන කෙලින් කතා කරන එක. එතනදී බුලී කරන කෙනා සෝෂල් මීඩියා සෙලිබ්‍රිටි කෙනෙක්ද වගේ එව්වා අදාළ විය යුතු නෑ. එයාගේ දායක සභාව ඇවිත් අපිට කෙලියිද වගේ එව්වත් අදාළ විය යුතු නෑ. එයා අපිටත් පන්න පන්න ගහයිද වගේ එව්වත් අදාළ විය යුතු නෑ. බුලී වෙන වින්දිතයාගේ පෙර වැරදි මොනවද, එයාගේ චරිතේ කොහොමද වගේ එව්වත් අදාළ විය යුතු නෑ.

වැරදි දේ වැරදියි, එච්චරයි !

7. කවුරුහරි නිස්කාරණේ ගේම ඉල්ලනකොට

ඇත්තම ඇත්ත කතාව මේකයි. මේ සමාජේ අපිත් එක්ක ජීවත් වෙන ගොඩක් මිනිස්සු නිවටයි, නියාළුයි, බයාදුයි. ඒ නිසාම ගොඩක් මිනිස්සුන්ගේ තියෙන්නේ ‘උස් තැන් දැක හැකිලෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ’ ස්වභාවයක් තමයි. ඒ නිසාම සාමාන්‍යයෙන් රෑකට අහළ පහළ ගේක සද්දයක් ඇහුණත් එළියට බහින්නේ තව කවුරුහරි කෙනෙක් දෙන්නෙක් එළියට බැස්සොත් විතරයි. නැත්තං ලයිට් ඕෆ් කරලා ෂේප් එකේ අහගෙන ඉන්නවා.

ඒ විදියටම තමයි කෙනෙක් තමන්ගෙන් ගේම ඉල්ලගෙන එනකොටත් හැසිරෙන්නේ. ගොඩක් වෙලාවට ඔය පොඩි පොඩි අයට සද්ද දාගෙන ඉන්න, තමන් සිංහ වංසේ කියලා ගර්ජනා කරන අයියලා අක්කලා කෙනෙක් ගේම ඉල්ලන කොට මීක් නෑ. දැන් කෙනෙක් අපෙන් ගේම ඉල්ලන්න එක්කෝ අපි ඒ කෙනාට වැරැද්දක් කරලා තියෙන්න ඕන, එක්කෝ ඒ කෙනා අපි වැරැද්දක් කලා කියලා වැරදි අවබෝධෙකින් ඉන්න ඕන. එහෙමත් නැතිනම් එතන අපි නොදන්න සහ අපිට අදාළම නැති දෙයක් තියෙන්න ඕන. අන්න එතකොට අපේ වැරැද්දක් තියෙනවා නම් අපි සමාව ඉල්ලන්න හඬ අවදි කරන්න ඕන. වැරදි අවබෝධයක් තියෙනවා නම්, ඒ වැරදි අවබෝධය නිවැරදි කරන්න හඬ අවදි කරන ඕන. අපිට අදාළම නැතිනම් සහ ගේම ඉල්ලීම නවත්තන්නේ නැතිනම්, නියම මනුස්සයෙක් වගේ තමන් වෙනුවෙන් පෙනී ඉන්න හඬ අවදි කරන්න ඕන. ඔය තුනෙන් එකක්වත් බැරි නම් ඉතින් ඔය ජීවිත මක්කටෙයි ?

දැන් අපි මෙහෙම කතා කලා කියලා ලංකාවේ ප්‍රශ්න විසඳෙයිද ? වැරැද්දක් දැක්ක තැන කතා කළා කියලා එක රැයින් උද්ධමනය අඩු වෙන එකක් නෑ, ණය බර අඩු වෙන එකකුත් නෑ. හැබැයි අඩු තරමින් එක මනුස්සයෙක් හරි ආයෙමත් වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතයි. අපිටත් නියම මිනිස්සු විදියට කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න හැඟීමක් ඉතුරු වෙයි. ඒ මදිද ?

Related news

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

administrator

අසාමාන්‍ය කොටස් ගනුදෙනු නිසා කොටස් වෙලඳපොළ කැළඹෙයි

administrator

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කණස්සල්ල

administrator

කරලිය පෙරලන්න: බැසිල් රෝහණ රාජපක්ෂ එයි!

administrator

රනිල් – මහරාජා විරසකය අවසන් වන්නේ අලුත් දේශපාලන පෙරළියක් වෙනුවෙන් ද?

administrator

ආණ්ඩුව පොසොන් පෝය වෙනුවෙන් LTTE හිටපු හතක් හෙට නිදහස් කරයි

administrator