2020 දෙසැම්බර් මාසයේදී ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු දෙපාර්තමේන්තුව විසින්, කන්ටේනර් බහාලුම්වල පවත්වාගෙන යා හැකි කාය වර්ධන මධ්‍යස්ථාන 25 ක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබු අතර එය රාජපක්ෂ පවුලේ සමිතම ව්‍යාපාරික මිතුරකුට හිමිව ඇතැයි සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.
කෙසේවුවද සොයාබැලීමකදී අනාවරණය වුයේ, එම ටෙන්ඩරය ලබාගැනීම සඳහා ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීරගේ ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම’ (GS Sports) ඇතුළුව සමාගම් 7 ක් විසින් අයදුම් කර ඇති බවත්, එහිදී අඩුම ලංසුව ඉදිරිපත් කළ ‘හයි ඔක්ටේන් ෆිට්නස් සෙන්ටර්’ (පුද්) සමාගමට (High Octane Fitness Centre (Pvt) Ltd) වෙත ටෙන්ඩරය හිමිව ඇති බවත්ය.
‘හයි ඔක්ටේන් ෆිට්නස් සෙන්ටර්’ (පුද්) සමාගමේ හිමිකරු වන්නේ රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකි.
කන්ටේනර් බහාලුම් භාවිතා කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන 500 ක් ඇතිකිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625 කි.
මෙම ව්‍යාපෘතිය හරහා 1,00,000 ක පමණ මහ ජනතාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට පමණ ප්රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
මෙයින් මධ්‍යස්ථාන 250 ක් මෙම වසර තුළ ඉදිකිරීමට නියමිතය.
මේ අතර මෙම ටෙන්ඩරය තමන්වෙත ලැබී ඇතැයි ඇතැම් ඇතැම් මාධ්‍යවල පලවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කර ඇති GS Sports සමාගම, ක්‍රීඩා අමාත්‍යංශයේ එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කර සිටියි. ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
නාමල්ගේ ව්‍යාපෘතියක් නොවේ – GS Sports කියයි
මෙම එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම, GS Sports නිල වශයෙන් ආරම්භ කිරීමට දින දෙකකට පෙර සිදුවීම හුදෙක් අහම්බයක් බවත්, එය වටහා නොගැනීම නිසා මෙම පදනම් විරහිත හා වගකීම් විරහිත චෝදනා තමන් වෙත එල්ල වී ඇති බවත් එම සමාගම පෙන්වා දෙයි.
GS Sports ව්‍යාපෘතියේ පුළුල් බව හා එමගින් ඇති වෙන සාධනීය බලපෑම් සැලකිල්ලට ගනිමින්, එය ආරම්භ කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ වෙත ආරාධනා කරනලද බව GS Sports කියා සිටියි.
තමන් මේ වන විට රට පුරා ව්‍යායාම හා කායවර්ධන භාණ්ඩ අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, දැනටමත් කොළඹ 03 ගාලුපාරේ සහ කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ තම අලෙවිසැල් විවෘත කර ඇති බවත් GS Sports කණ්ඩායම පවසයි.
GS Sports නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
දශක 4 කට අධික ඉතිහාසයක් හිමි ජෝර්ජ් ස්ටුවර්ට් හේල්ත් ආයතනය, ලොව ප්‍රමුඛතම Kinesiology Tape නිෂ්පාදන සමාගමක් වන ‘Mueller Sports Medicine ඇතුළු ප්රමුඛ පෙළේ ක්‍රීඩා හා සෞඛ්‍ය නිෂ්පාදන සන්නාම රැසක් නියෝජනය කර තිබේ. පසුගිය වසර 15 තුළ එම සමාගම ඉහළම ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා භාණ්ඩ සෘජුව ඇණවුම් කිරීමේ සහ අලෙවි කිරීමේ නිරත වී ඇත.
ගෘහස්ථ හා වාණිජ ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලුම හඳුනා ගැනීම සහ, මහා පරිමාණ සමාගම්වලට සෞඛ්‍ය හා ශරීර සුවතා කාණ්ඩයට පිවිසීමට ඇති අවස්ථා සැලකිල්ලට ගැනීම මත, පෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ පූර්ණ අයිතියට යටත්ව GS Sports ආරම්භ කරන ලදී.
මිලියන 500 ක ආයෝජනයක් :
ඒ අනුව ක්‍රීඩා හා ශරීර සුවතා ක්‍රියාකාරකම් ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජනතාව හුරුකරවීමේ අරමුණ ඇතිව, රු. මිලියන 500 ක ආයෝජනයක් සමගින් GS Sports ව්‍යාපෘතිය දියත් කෙරිණි.
මෙම දැක්ම සමගින් GS Sports සහ Gymin සන්නාම යටතේ උසස් තත්වයේ වාණිජ හා ගෘහස්ථ ශරීර සුවතා උපාංග එකතුවක් වෙළඳපොළට හඳුන්වා දීමට ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම කටයුතු කරමින් සිටී.
ආරම්භක අදියරේදී රටේ වාණිජ වශයෙන් අතීශයින් වැදගත්වන ස්ථාන කිහිපයක, ඉහළ තලයේ ක්‍රීඩා උපකරණ ප්රදර්ශනාගාර පවත්වා ගෙන යාමට GS Sports කටයුතු කරනු ඇත.
මෙම ප්රදර්ශනාගාර ආරම්භ කිරීම සඳහා කළ යුතු ආයෝජන සලකා බලන විට, එය රජයේ එළිමහන් ව්‍යායාම හා කායවර්ධන මධ්‍යස්ථාන ව්‍යාපෘතියට පූර්ණ පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථාන සැපයීම මගින් ඉපයීමට හැකිවන ලාභයට වඩා බෙහෙවින් අධික බව, සරල ගණනය කිරීමක් මගින් වුවද කෙනෙකුට පෙනී යා යුතු බව GS Sports නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.