චන්දිමාල් ජයසිංහ මහතා ෂැංග්‍රිලා හෝටලයේ සංවිධාන කළ උපන්දින සාදයට අදාළ පරීක්ෂණ තවමත් නිමාවට පත්වී නැත. ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නටද නැත. සාදයට සහභාගි වූ කිහිප දෙනෙක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමුකර ඇතත් එම සාදයට ඊට වඩා පිරිසක් සහභාගි වූ බවට විවිධ චෝදනා නැඟෙමින් ඇත. ඒ පිරිස සොයාගැනීමට උත්සාහ ගන්නා බවක්ද දක්නට නැත.
ෂැංග්‍රිලා හෝටලය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය නැවත වරක් කතාබහට ලක් වූයේ ඉන් දින කිහිපයකට පසුව නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් වව්නියාව ප්‍රදේශයේ හෝටලයක් සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවට වාර්තා වීමත් සමඟිනි. වව්නියාවේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් ඒ ආකාරයෙන් සීල් තැබීමට හේතු වී තිබුණේ එහි පැවැති විවාහ මංගලෝත්සවයකදී නිරෝධායන නීති උල්ලංඝනය වී තිබීමය. සෞඛ්‍ය අමාත්‍යාංශය පනවා ඇති නිරෝධායන නීති අනුව විවාහ උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ 15 දෙනකු පමණක් වුවද, ඒ සඳහා 50කට ආසන්න පිරිසක් සහභාගි වී සිටි බවට වාර්තා වී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝටලය සීල් තබා ඇත්තේ ඉන් අනතුරුවය. එම උත්සවයට සහභාගි වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.
වව්නියාවේදී ඒ ආකාරයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක වුවද, මුළු රටේම කතාබහට ලක් වූ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සාදයට අදාළව නීතිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැත. එම සිද්ධියෙන් අනතුරුව එදින ෂැංග්‍රිලා හෝටලයේ සේවය කළ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වූ අතර ඒ අතරින් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවටද තහවුරු වී ඇත. නමුත් ඒ කිසිවක් ෂැංග්‍රිලා හෝටල් පරිපාලනය මෙන්ම පොලිසිය ඇතුළු බලධාරීන් මායිම් කළේද නැත.
වාර්තා වන අන්දමට ෂැංග්‍රිලා හෝටලයේ පැවැති රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන්දින සාදයට එදින උදෑසන සිටම බොහෝ පිරිසක් සහභාගි වී ඇත. එම පිරිස එක්වර ඒකාරාශී නොකර වරින් වර සාදය සඳහා කැඳවීමට සංවිධායකයන් කටයුතු කර ඇත. දිනය පුරා පැවැති සාදය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය. ඒ පිළිබඳ පොලිසියටද පැමිණිලි ලැබුණු බව වාර්තා විය. නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ අවසන් මොහොතේදීය.
ඒ වන විට සාදයට පැමිණි බොහෝ දෙනකු පිටත්ව ගොස් තිබුණු අතර ඇතැම් පිරිස් කල් තියා වෙන් කරගෙන තිබූ හෝටල් කාමරවලට රිංගා ගත් බවද වාර්තා විය. කෙසේ නමුත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඒ වන විටද එම ස්ථානයේ රැඳී සිට ඇත. පසුදා පොලිසියට පැමිණෙන ලෙස ඒ දෙදෙනාට දැනුම් දෙන්නේ ඒ අවස්ථාවේදීය.
පසුව ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ සාක්ෂි මත තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද පොලිසිය කටයුතු කළේය. එම සියලු දෙනා නිරෝධායනය සඳහා පස්සර බලා පිටත් කර හැරියේ ඉන් පසුවය.
එහෙත් රට පුරා දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා ඉඩ ලබාදුන් ෂැංග්‍රිලා හෝටල් පරිපාලනයට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට පොලිසිය මෙතෙක් කටයුතු කර නොතිබීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී ඇත.
පළමුව මේ සම්බන්ධ පරීක්ෂණ කොටුව පොලිසිය මඟින් මෙහයවූ අතර පසුව හදිසියේ එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. උපන්දින සාදයට අදාළ සී.සී.ටී.වී. දර්ශන ෂැංග්‍රිලා හෝටලයෙන් ලබාගැනීමට පොලිසිය කටයුතු කළ අතර පසුව එම දර්ශන මාධ්‍යයටද මුදාහැරිණි.
නමුත් එම කිසිදු දර්ශනයක පැහැදිලිව දිනය සහ වේලාව දක්නට නොලැබීම විමතියට කරුණකි. එබැවින් එම දර්ශන සංස්කරණය කර ඇති බවටද චෝදනා එල්ල විය. දිනය හා වේලාව පමණක් නොව සාදයට සම්බන්ධ පුද්ගලයන්ට අදාළ දර්ශනද ඒ ආකාරයෙන් සංස්කරණය කර ඇති බවට බොහෝ දෙනා තුළ සැක මතු වී ඇත. චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි පුද්ගලයන් පිළිබඳ සැබෑ තොරතුරු දැනගැනීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුව මතය.
මෙම උපන්දින සාදය පැවැත්වූයේ හෝටල් කළමනාකාරීත්වයේ අනුදැනුම මත නොවේය යන්න පිළිගැනීමට මේ රටේ ජනතාව සූදානම් නැත. වරින් වර පැමිණි පිරිසට දිවා ආහාරය, රාත්‍රී ආහාරය ඇතුළු සත්කාරයන් ලබා දී ඇත්තේ හෝටල් කාර්යමණ්ඩලය හරහාය. දේශීය සංචාරකයන්ට සංචරණය තහනම් වී ඇති වටපිටාවකට පෙර දැනුවත් වීමකින් තොරව හෝටල් කාර්යමණ්ඩලය එවැනි පිරිසකට ආහාර සූදානම් කළේය යන්නද කිසිසේත් පිළිගත නොහැකිය.
නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නා ආකාරයක් දක්නට නැත. රටේ එදා වේල හොයාගන්නා දුප්පත් අහිංසක ජනතාවට ක්‍රියාත්මක වන නීතිය ෂැංග්‍රිලා හෝටල් කාර්යමණ්ඩලයට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ එහි හිමිකරු සහ රජය අතර පවතින සබඳතාව නිසාදැයි ජනතාව දැන් විමසන්නට පටන්ගෙන ඇත.
කවුරුත් දන්නා පරිදි ෂැංග්‍රිලා හෝටලයේ කළමනාකාර අධ්යක්ෂවරයා වන්නේ කෝටිපති ව්‍යාපාරික සජාඩ් මවුසූන් මහතාය. සිංගප්පූරුව මුල්කර ගනිමින් ලොව පුරා විහිදී ඇති ෂැංග්‍රිලා හෝටල් ජාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලකවරයා වන්නේද ඔහුය. සජාඩ් මවුසූන් මහතා ‘වියත් මග’ සංවිධානයට උදව් උපකාර කරන පුද්ගලයකු බවටත්, ඒ හේතුවෙන් රජය ඔහුගේ ව්‍යාපාරයන්ට අදාළව විවිධාකාරයේ උදව් උපකාර සිදුකරන බවටත් පසුගිය කාලය පුරාම විපක්ෂය චෝදනා කරන ආකාරයද දැකගත හැකි විය.
සජාඩ් මවුසූන් මහතා සහ රාජපක්ෂ පාලනය අතර ඇයි හොඳයිය ආරම්භ වූයේ අද ඊයේ සිට නොවීමද විශේෂත්වයකි. යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ වර්තමාන ෂැංග්‍රිලා හෝටලය පිහිටා ඇති ඉඩම සින්නක්කර ඔප්පුවකින් අදාළ සමාගමට පවරා දුන්නේ එම හිතවත්කම මත බවටද ඒ දිනවල චෝදනා එල්ල විය. ඒ, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටි කාලයේදීය. රජයේ ඉඩමක් පෞද්ගලික සමාගමකට පැවරීමේදී සාමාන්‍යයෙන් බදු ප්‍රතිපත්තිය අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති සිරිත වුවත්, එය උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයට අයත් භූමිය සින්නක්කර අයිතියකින් අදාළ සමාගමට පවරා දීමට එවකට පරිපාලනය පියවර ගැනීම විශේෂත්වයක් විය.
මේ අතර පසුගියදා මෙරට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සීනි බදු වංචාවට අදාළව නම් සඳහන් වූ පිරමිඩ් විල්මා සමාගමේ හිමිකරුවා වන්නේද සජාඩ් මවුසූන් මහතාය. එම සමාගමේ මව් සමාගම පිහිටා ඇත්තේද සිංගප්පූරවේය.
මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාව අනුව සීනි බදු වෙනස් කිරීම හේතුවෙන් මෙරටට අහිමි වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 15.9කි. එලෙස අහිමි වූ ආදායම හිමිව ඇත්තේ මෙරටට සීනි ආනයනය කරන ඉතා සීමිත පිරිසකට බවද ඒ වාර්තාවේ සඳහන් විය. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙසද සජාඩ් මවුසූන් මහතාගේ නම සඳහන් විය. ඒ, රජය විසින් බදු අඩු කළ කාල සීමාවේදී ඔහුට අයත් පිරමිඩ් විල්මා සමාගම විශාල වශයෙන් සීනි ආනයනය කර තිබීම මතය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ ආකාරයට රජය සීනි බදු අඩුකර තිබූ දින 90ක කාලය තුළ පිරමිඩ් විල්මා සමාගම ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සීනි ප්‍රමාණය මෙටි්රක් ටොන් 1,02,180කි. ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන අනෙක් සමාගම් 14ම එම කාලය තුළ මෙරටට ආනයනය කර ඇත්තේ සීනි මෙටි්රක් 71,366ක් පමණි. ප්‍රතිශතයක් ලෙස ගත් කල එම කාලය තුළදී පිරමිඩ් විල්මා සමාගම ආනයනය කර ඇති සීනි ප්‍රමාණය 59%කි. නමුත් බදු අඩුකිරීමට පෙර, එනම් 2020 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එම සමාගම සීනි ආනයනය කර ඇත්තේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බවටද එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
ඉන්පසු රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ විෂ පොල්තෙල් ආනයනයට අදාළවද මවුසූන් මහතාගේ නම සඳහන් විය. ඒ, ශ්‍රී ලංකාවට විශාල වශයෙන් පොල්තෙල් ආනයනය කරන එක් සමාගමක් විල්මා ආයතන සමූහය සතු වීම මතය.
මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ සමගි තරුණ බලවේගයේ ප්රචාරක ලේකම් රසික ජයකොඩි මහතා සඳහන් කළේ විල්මා සමූහයේ හිමිකරු සජාඩ් මවුසූන් මහතා සහ ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සමීප මිතුරන් බැවින් මෙරටට ආනයනය කළ විෂ පොල්තෙල් වෙළෙඳපොළට මුදාහැරීයේ දැයි දැඩි සැකයක් මතුවන බවය. එහිදී ප්‍රමිති ආයතනය අනුගමනය කළ දියාරු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ජයකොඩි මහතාගේ අදහස විය. එහිදී ඔහු චෝදනා කර සිටියේ මේ සියලු දෙනාම ගජමිතුරු කල්ලියක ව්‍යාපාරික කවයක් වන බවටය.
මේ ආකාරයෙන් බැලීමේදී පෙනී යන්නේ ෂැංග්‍රිලා හෝටලයේ මෙරට භාරකරුවා කෙතරම් බලසම්පන්න චරිතයක්ද යන්නය. පොදු ජනතාවට ක්‍රියාත්මක වන නීතිය ෂැංග්‍රිලා හෝටලයට සහ එහි සාද පැවැත්වූ පිරිසට අදාළ නොවන්නේ ඒ නිසාදැයි ජනතාව විමසන්නේ ඒ පිළිබඳ ඔවුන් හොඳින් දන්නා නිසාය.
රටක නීතිය සැමට එක හා සමාන විය යුතුය. ජනාධිපතිවරයාගේ සිට සියලු දේශපාලනඥයන්ට මෙන්ම කෝටිපතියාගේ සිට යාචකයා දක්වාද එම නීතිය පොදුවිය යුතුය. රටේ නීතිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟෙන්නේ එවිටය. නමුත් අවාසනාවට අපේ රටේ සිදු නොවන්නේද එයමය. අවසන් පැය විසිහතර තුළ නිරෝධායන නීති කැඩූ කී දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇද්දැයි සඳහන් කිරීම එදිනෙදා ප්රවෘත්ති විකාශයේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව ඇත. නමුත් ඒ අතරින් බොහෝ දෙනෙකු දුක්මහන්සි වී එදාවේල සොයාගන්නා අහිංසකයන්ය. ඒ නීතිය රටේ බලසම්පන්න පුද්ගලයන්ට එරෙහිව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන බවට විශ්වාසයක් දැන් අපේ රටේ ජනතාව තුළ ඇතිවී හමාරය.
[චන්දන පොන්නම්පෙරුම]