සිය අපේක්ෂාව සියලුදෙනාම ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේ නොමැතිව තමා පාර්ලිමේන්තු පැමිණෙන්නේ කිසිවෙකුට තර්ජනයක්වීමටවත් කාගෙවත් ප්‍රතිරූපය බිඳ දැමීමටත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.
අද දෙරණ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“මේ අවස්ථාවේ මම මේ තීරණය ගත්තේ නැත්නම් පස්සේ කාලෙක ඒක පක්ෂයට බලපායි. ඒ නිසා මම මේ තීරණය ගත්තා. කවුරුවත් ඇයි මේකට කුලප්පු වෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. මං කොහොමද විපක්ෂ නායකකම ගන්නේ. එක මන්ත්‍රී ධූරයයි තියෙන්නේ. මං කියන්නේ අපි සියලු දෙනාම ශක්තිමත් විපක්ෂයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකතු වෙන්න පුළුවන් තැන්වලදි අපි එකට වැඩ කළ යුතුයි. ඒ වෙනුවෙන් මම එන්නේ. අද තනාපති කාර්යාල කතා කරලා කියන්නේ යුද්දෙ කාලවත් ඉල්ලුම් පත්‍ර නොදාපු තරම් පිරිසක් දැන් ඉල්ලුම් පත්‍ර දානවා රට අතහැර යන්න කියලා.”
“මම එන්නේ රටේ අදහස් ප්‍රකාශ කරන්න. ආණ්ඩුව යන මාර්ගයේ රටට විශාල හානියක් වෙනවා. ඒ හානිය වළක්වන්න. ඒක කාටවත් තර්ජනයක් නෙමෙයි. කාගෙවත් ප්රතිරූප වට්ටන්නත් නෙමෙයි. මට ඩීල් එකක් නෑ.”
“සජිත් ප්‍රේමදාස මහතා මට කියන ඒවට මම පිළිතුරු දෙන්න යන්නේ නෑ. මගේ දේශපාලනය තියෙන්නේ ආණ්ඩුවට නිවරැදි මාර්ගය පෙන්නලා දීම. සජිත් මට ප්‍රශ්නයක් නෙමෙයි.”
“එකට ඉන්නකොට මිත්‍රත්ව ඇති වෙනවා. හැබැයි දේශපාලනය වෙනයි. මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි දිනේෂ් ගුණවර්ධන එක්ක මම පාසලේ ඉඳන් එකට හිටියා.”