fbpx

රනිල් – මහරාජා විරසකය අවසන් වන්නේ අලුත් දේශපාලන පෙරළියක් වෙනුවෙන් ද?

HotPolitical

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද යළිත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. ඒ, ඔහු අවසන් වරට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් ගැනීමෙන් මාස 15 කටත් පමණ පසුවයි.

වික්‍රමසිංහ මහතා එජාපයට හිමි වූ එකම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම අද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව සාමාන්‍ය සමාජයේද ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත‍ාගේ නැවත පාර්ලිමේන්තු ප්‍රවිශ්ටය වෙනුවෙන් කොළඹ නගරයේ විශාල පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ මහරාජා මාධ්‍ය ආයතනය විසිනි.

මහරාජා ආයතනයේ මෙම ක්‍රියාව සුවිශේෂ වන්නේ, දශකයකටත් වැඩි කාලයක් තිස්සේ මහරාජා ආයතනය විසින් රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම විවේචනය කිරීම හේතුවෙනි. එපමණක් නොව වික්‍රමසිංහ මහතා එජාප නායකයත්වයෙන් පහ කිරීම සඳහා මහරාජා ආයතනය එළිපිටම කටයුතු කළ අතර පසුගිය කාලය තුලදී එජාපය තුළ ඇති වූ ගැටුම්, පක්ෂය අතහැර යෑම් පසුපස සිටි එක් ප්‍රධාන පාර්ශ්වයක් වන්නේ මහරාජා ආයතනයයි.

එසේ කටයුතු කළ මහරාජා, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය මේ ආකාරයෙන් සැමරීම ඇතැම් විට අලුත්ම දේශපාලන උපක්‍රමයක්, පෙරළියක් විය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේ නිකන්ම නොව විපක්ෂ නායකත්වය ලබා ගැනීමට හා සමගි ජන බලවේගය බේද කර මන්ත්‍රීවරුන් පිරිසක් යළිත් පක්ෂයට බිලිබා ගැනීම සඳහා යැයිද රාවයක් යමින් තිබේ. එසේම ආණ්ඩු පාර්ශ්වය තුළ කළකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක්ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට සූදානමින් සිටින බවටද පසුගිය දිනවල රාවයක් පැතිර ගියේය.

කුමන අතකින් බැලුවද එජාපයට හිමි වූ එකම මන්ත්‍රී ධුරය, මෙම දින කිහිපය තුළදී මෙරට දේශපාලනය තුළ, සාමාන්‍ය සමාජය තුළ මෙතෙක් නොතිබූ දේශපාලන කතාබහක් නිර්මානය කර තිබේ. මහරාජා ආයතනය බැනර් දමා වික්‍රමසිංහ මහතා පිළිගැනීම හරහා ඉහත සඳහන් කළ ආරංචිවලට තටු ලැබීමටද ඉඩ තිබේ.

[LNW]

Leave a Reply