fbpx

CIDය වෙනුවෙන් රහස් පොලිස් ලොක්කෙක් බදූර්දීන්ගෙන් සමාව ඉල්ලයි?

HotLocal

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ රඳවා තබාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණු අතර පසුගියදා එම අවස්ථාව ලබාදී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙහි බදූර්දීන් මහතාව රඳවාගෙන සිටින කොටසෙහි සිට අදාළ ඉහළ නිලධාරියාගේ කාර්යාලය වෙත ඒ මහතාව රැගෙන යන අතරේම විදුලි සෝපානයෙහිදී අහඹුවෙන් ඒ දෙදෙනා මුණ ගැසී තිබේ.

එහිදී බදූර්දීන් මහතා අදාළ ඉහළ පොලිස් නිලධාරියාට දැඩි ආවේගශීලී ලෙස කරුණු දක්වමින් තමන්ට සිදුව ඇති අසාධාරණය ගැනත් තමන්ව රඳවා තබාගෙන සිටින්නේ නීතිවිරෝධීව බවත් ප්‍රකාශ කර ඇත.

අනතුරුව ඉහළ පොලිස් නිලධාරියාගේ කාර්යාලයට ඔවුන් පැමිණි පසුවත් බදූර්දීන් මහතා, එහි සිටි සියල්ලන්ම ඉදිරියේ මෙම අත් අඩංගුවට පත්වීමට අදාළ සිදුවීම් මාලාව එකින් එක ගෙනහැර දක්වමින් පාස්කු කොමිෂන් වාර්තාවෙන් ද චෝදනා එල්ල වී නොමැති, පොලිස්පතිවරයා විසින් ද නිර්දෝෂී බව ප්‍රකාශ කෙරුණු තමන්ව මෙසේ රඳවා තබාගැනීමට රහස් පොලිසියට හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇත.

බදූර්දීන් මහතාගේ කරුණු දැක්වීම හමුවේ ඊට එරෙහිව ඉදිරිපත් කළ හැකි නීතිමය තර්කයක් නොතිබීම නිසාම දැඩි අපහසුතාවකට පත්ව ඇති ඉහළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ බදූර්දීන් මහතාට අසාධාරණයකට මුහුණ පෑමට සිදුව ඇතැයි යන්න පැහැදිලි නමුත් තමන් කරන්නේ තම රාජකාරිය පමණක් බවත් බදූර්දීන් මහතා නිදහස් කිරීමට තමන්ට නොහැකි බවත්ය.

මේ අවස්ථාව වනවිට දැඩි කෝපයට පත්ව සිටි බදූර්දීන් මහතා තමන්ව නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටිමින් තම මානව හිමිකම් උල්ලංඝනය කරන සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව තමන්ට හැකි උපරිම වශයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිලධාරීන්ට පුද්ගලිකව මෙහි වගකීම භාරගැනීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රශ්නය හමුවේ දැඩි පීඩනයට පත්ව සිටි ඉහළ පොලිස් නිලධාරියා අවසානයෙහි තමන්ට කළ හැකි කිසිවක් නොමැති බව කියා වැඳ ආචාර කරමින් බදූර්දීන් මහතාගෙන් සමාව ඉල්ලා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

[Lanka News Web]

Leave a Reply