‘සැතපුම් දහස් ගණනක දිගු ගමණක් ආරම්භ කරන්නේ එක් තනි පියවරකිනි.’
කලු පැහැ පසුබිමෙහි සුදු අකුරින් ලියැවී තිබෙන එකී සටහන රැගත් පුවරුව ඔහු නික්ම ගිය පසුත් ඔහුගේ කාර්යාල කුටියෙහි පුටුවට ඉහලින් බිත්තියෙහි විය.
ඒ වූකලී ඔහු වෙනුවෙන් ලිවිය හැකි සාධනීයම හේතු පාඨයකි.
ඊට ඔබ්බෙන් වන්නේ ඊයම් කුඩකින් නිමැවුණු විසිතුරු ‘නෞකාව’ක් සහිත සේයාරුවය.එය වෙරල සොයා ඇදෙන්නක්ද,සයුර සොයා යාත්‍රා කරන්නක්ද කියා නිනව් නැත.එහෙත් මනා විමසිල්ලකින් බැලූ කල එය වෙරළතට පිටුපා යන්නක් බව පෙනේ.ඒ,නෙක දිවයින්,ගොඩබිම්,කෙම්බිම සොයා විය යුතුය.
ජීවිතය අහම්බයක් බව ඒකාන්තවම පසක් කොට ඔහු නික්ම ගියේය.
ඔහුගෙන් හිස් වූ අසුනට පසුව ආදේශකයෙකුව මා පැමිණියත් එකී සද්දන්ත මිනිසා තබා ගිය හිස්බව සහ පාලුව මැකිය හැකි නොවීය.
පුවත්පත් කලාව උතුම් දෙයක් බවත්,මාධ්‍ය ආචාර ධර්ම සුරැකීම ‘රැස’ගුරුකොටගත් යුතු බවත් අවධාරණය කළ නියමුවා ඔහු විය.පරමාදර්ශයන් හිස් මෙබිම ඔහුගේ සංකල්ප සහ ආකල්ප ‘රැස’පෙරට ගෙනයාමේ ගාමක ශක්තියම විය. ජාතිවාදය , ආගම්වාදය නොරිස්සූ ඔහු රැසෙහි ඒකායන ප්‍රතිපත්තිය බවට එය පත් කර ගත්තේය.
එනිසා රැස මිනිසුන්ගේ ආදරය දිනූ පුවත්පතක් විය.!
එහි පුරෝගාමියා ඔහු විය.
උදාර අපේක්ෂාවන් මත පිහිටා ප්‍රශස්ථ ලෙස ‘රැස’ආරම්භ කළ ඔහු,එයින් තෙමසක් ඉක්ම යන්නට මත්තෙන් ‘සිළුමිණ’කතෘවරයා ලෙස උසස්වීම් ලද්දේය.ඔහු එක් පැත්තකින් ලංකාවේ ඉතා වාසනාවන්ත තරුණ මාධ්‍යකරුවකු විය. සිය තරුණ දිවියේ පරිණත අවධියේදී ඔහුට සිළුමිණේ කර්තෘ පදවිය දක්වා ඉදිරියට ඒමේ අවස්ථාව ලැබිණි.
පහළොස් වසරකට වැඩි මාධ්‍ය ක්ශේත්‍රයේ අත්දැකීම් සහ ඒ තුල ඔහු පෑ බුහුටිකම් එකී තනතුරට ආලෝකයක් දෙන්නට තරම් විය.කාලාන්තරයක් තිස්සේ දේශපාලන න්යායපත්ර වලින් වැසී තිබූ සිළුමිණ හෙතෙම ‘පරිවර්තනීය’වෙනසකට බඳුන් කළේය.ඒ අනුව ඔහු කෙටි කලක් තුල විසල් වැඩ කොටසක් ඉටු කළේය.
ප්රජාතන්ත්රවාදය, නිදහස, සංවර්ධනය, වෙනුවෙන් බොහෝ දේ කළ ඔහු මනුස්සකම වෙනුවෙන් අපමණ දේ කළේය.ඒ බව දන්නෝ ටික දෙනෙකි.
ඔහුට තිබුණේ ‘නොයිවසිලිමත්’ඉවසිලිවන්ත කමකි.එය වඩා පරෙස්සම් සහගත යමක් සමාජගත කිරීම සඳහා වූ ඉවසිල්ලකි.ඒ නිසාම සෑම දිනකම ‘රැස’කටයුතු හමාර වනතුරු ඔහු සිය වතාවකට වඩා විමස,විමසා ‘සොඳුරු කරදරයක්’කළේය.
එය රැව් පිළිරැව් දෙන ‘සොඳුරු කරදරයකි’.තාමත් අප නිවැරදි මාවත යන්නේ එකී හඬ අප අතරින් වියැකී නොගිය නිසාය.
ඔහු නන්විද ක්ශේත්‍රයන් කෙරෙහි ප්රතූල දැනුමකින් සන්නද්ධව සිටියේය.පුවත්පත් දෙකක කටයුතු මනාකොට ඉටු කරන්නටත්,කණ්ඩායම් දෙකක් ඒ උදෙසා මෙහෙයවන්නටත් ඔහු සමත් වූයේ එකී සමාජ කියවීමෙහි ඔහු සතු වූ පිරුණු බව නිසාය.
ඔහු අති දක්ෂ දේශපාලන ලිපි ලියන්නෙකි.සම්මුඛ සාකච්ඡා මෙහෙය වන්නෙකි.වඩාත් තීක්ෂණ ලෙස ඔහු සිය ලිපි තර්කානුකූලව ගොඩනැගුවේය.
ඔහු වඩාත්ම ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ද සිල්වාය.ඔහුගේ ලිපි අරවින්දගේ අසිරිමත් ඉනිම් තරම්ම ප්‍රශස්ථ විය.අරවින්ද තැන්පත්,නිවුනු ඇවැතුම් පැවතුම් ඇත්තෙකි.නමුත් ඔහු පිත්ත ගෙන පිටියට ගිය විට නීල මහා යෝධයා මෙනි.
ඔහුද එසේමය.පෑන ඔහු අතට ලැබුණු විට ප්‍රහාරය ‘තාර්කික’ය.අනෙකාට හැරෙන්නටවත් ඉඩක් නැත.
ඔහු පාපන්දු ලෝකයේ ප්‍රිය කළේ පේලේට සහ මෙසීට ය.ඔහු අසනීප වීමට පෙරදා රාත්‍රියේ ආර්ජන්ටිනාව විසින් නයිජීරියාව පරාජය කළේ මෙසීගේ මනරම් ගෝලයකිනි.
ඔහු මුහුණුපොතේ මෙහෙම සටහනක් දැම්මේය.
‘මෙසී ඔබට අද ආර්ජන්ටීනාවේම ආදරය හිමිවෙයි. ඔබ පැරදුනානම් ආර්ජන්ටීනාවම ඔබට ගරහයි’
මෙය සදාතනික සත්‍යය ය.
ඔහු නිසා මා හට මගේ ජීවිතයේ අපූරු මිනිසුන් රැසක් හමුවිය.
අයෙක්, එවක ලේක් හවුස් සභාපති ක්‍රිශාන්ත කුරේ මහතා ය.ඔහු අපූරු මිනිසෙකි. නිර්මාණශීලී වෘත්තීයවේදියෙකු සේම විශාල දැක්මක් ඇති පරිපාලකයෙකි.නිරපරාදේ නංවන ලද අභූත චෝදනා මත ඔහුට මව්බිමෙන් බැහැරව දිවි ගෙවන්නට සිදුව තිබේ.හේ,වර්තමාන ආණ්ඩුවේ දඬු අඬුවට හසුවූ මුල් කිහිප දෙනාගෙන් අයෙකි. අවාසනාවට කරුණ වන්නේ පාලකයින් රට හැර ගිය වෘත්තීයවේදින්ට, ව්‍යවසායකයින්ට එන්න යැයි ආරාධනා කරන අතරේම Dharisha Bastians ලා ක්රිශාන්තලා වැන්නන්ට මේ රට අනාරක්ෂිත කලාපයක් කිරීම ය. නිර්මාණශීලී සහ දක්ෂ මානව සම්පතින් වැඩ ගැනීමට පාලකයින්ට උවමනාවක් නැත.!
චාමර නිසා මට හමුවූ අනෙක් මිනිසා
දේශපාලනය කිරීමේ උණ නිසාම එංගලන්තය අතහැර මේ කටුක බිමට පැමිණි Maduka Thaksala Fernando ය.චාමරගේ අනතුර පිළිබඳව රැසෙහි පිරිසෙන් මුලින්ම දැනගත්තේ මධුකය.මධුක තුෂ්නීම්භූතව මට ඒ පණිවිඩය කීවේය.
ලේක් හවුස් ආයතනය හැරදමා ගියද තවමත් මධුක දුක සැප විමසන අතිජාත මිතුරා ය.
චාමර මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාල වලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධි ලැබූවෙකි.
ලංකාවේ දේශපාලන විද්‍යාව උපාධියක් ලෙස හදාරා සැබෑ ජනතාවාදී දේශපාලන දැක්මක් සහිතව මාධ්‍යකරණයේ සහ දේශපාලන විචාරයේ යෙදුනු මෑතකාලයේ දක්ෂතම තරුණ මාධ්‍යවේදියා ඔහුය.දේශපාලන සම්මුඛ සාකච්ඡාකරණයේ ඔහු ආදර්ශයට ගත යුතු මාධ්‍යවේදියෙකු විය.
ජීවිත කාලය මත වයස තීන්දු වන්නේ දින,සති වලින්නම් ඔහු ඔහුගේ කෙටි ජීවිත කාලය තුල සියවසරක වැඩ කොට තිබේ.
එහෙත් ඔහු ඒ සියල්ලට වඩා ඉක්මනින් නික්ම යෑම තෝරා ගැනීම තවමත්,අදහාගත නොහැකි තුෂ්නීම්භූත පුවතකි.නික්මයාම තෝරාගෙන තෙවසරක් නික්ම ගියද එකී තුෂ්නීම්භූතබව පහව ගොස් නැත.
නික්ම ගොස් බොහෝ කලකට පසුවත් අහම්බෙන් හෝ ඔහුට ඇමතුමක් ගතහොත් අසන්නට ලැබෙන්නේ ‘ළා දළු බෝපත් හෙමින් සැලෙන සේ යසෝදරා දේවි – වාවනු බැරි දුක හෙමිහිට හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී’ යනුවෙනි.
‘නික්ම ගිය ඇත්තෝ නොපවතින හෙයින් නිදහස් ය….ඉතිරිව ඇත්තේ මතකයට ආචාර කිරීම පමණි’ යනුවෙන් කියමනක් වෙයි.අවාසනාවට එය සත්‍යය වුවද පිළිගන්නට අසීරු දෙයකි.ඒ තරමටම ඔහු අප වටා විසල් පවුරක්ව සිටී.
ඒ කෙසේ වුව,මෙසේ ලිවිය යුතුමය.
ඉතුරු දිග දවස් සුබ ලකුණු ගැන පමණක්ම නිරතුරුව දෙඩූ
සිකුරු තරුවක් අහිමි අහසෙ සළකුණු තිබේ කප්පරක් හැඬූ
අකුරුවල දැකුළු මල් පිසදමා කඩු තුඩින් පාරවා කැඩූ
මිතුරු සඳ ඔබ විතරමයි නේද අද මෙතන අපි අතර අඩූ
‘ජීවිතය අහම්බයක් වුව මරණය අනිවාර්යයකි’.සමහරවිට අපි එක් පියවරකින් ආරම්භ කරනුයේ එය විය හැක.එසේවුවහොත් ඔහේදී අපට හමුවිය හැක. දයාබර සොයුර,එතෙක් ඉසිඹුලන්න…!!!
සටහන: රංජිත් කුමාර සමරකෝන්