ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ සිද්ධිය ගැන විමර්ශන තවමත් ක්‍රියාත්මක අතර දත්ත මැකීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝම්බර් 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා ඊයේ නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ මෙය ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ ඖෂධ ආනයන සංයුතින්ට අදාළ ලිපිගොනු ලක්ෂ 11ක් මැකීයාම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ඉදිරි පියවරක් ලෙස මෙම සැකකරුව අත්අඩංගුවටගත් බවයි.
සැකකරුගෙන් සිදුකළ මුලීක ප්‍රශ්න කිරීම්වලදි මෙම දත්ත මැකීයාම හුදු තමන්ගේ අතින් සිදුවූ අත්වැරදීමක් බව සඳහන් කර සිටියද, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදුන්නේය.
NMRA දත්ත මැකීයාම සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයට චෝදනා එල්ල වූ අතර මේ සම්බන්ධ කිසිදු වගකීමක් ටෙලිකොම් ආයතනය විසින් මේ වනවිට දරන්නේ නැත. 2017 දී NMRA දත්ත පද්ධතිය ගැන සම්පූර්ණ වගකීම එපික් ලංකා ටෙක්නොලොජීස් වෙත හිමිවූ අතර මෙහි hosting කටයුතු Dialog සමාගම විසින් සිදුකරයි.
පසුගිය ජූලි මස සිදුවූ මේ දත්ත මකාදැමීමේ සිද්ධිය ගැන විමර්ශන තවමත් ක්‍රියාත්මක අතර මෙම සැකකරු විසින් දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබද වැඩිදුර සොයාබැලීමක් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.