අපේ රටේ රාජ නාමාවලිය හා සමානව අපේ රටේ හොරුන්ගේ, වංචාකාරයන්ගේ නාමාවලිය ද ජනතාවගේ මතකයේ ඇත. සක්විති, කොතලාවල, දඬුවම් මුදලාලි යනාදී වූ නාමාවලිය ඇසූ සැණින් අමුතුවෙන් ඒ අය කළ රජ වැඩ කියන්නට අවශ්‍ය නැත. මේ රටේ යුගයක් කණපිට හැරවු මොවුන් ගැන අමුතුවෙන් සහතික දිය යුතුද නැත. ඒ නිසා රටම ඇන්ඳවුන්ගේ නාමාවලියේ අදටත් මේ අය උඩින්ම සිටිති.
මේ කියන්නට සැරසෙන්නේ ද ඉහත නාමාවලියේම තවත් දිගුවකි. එම නාමාවලියට අලුතින් එකතු වන අය නම් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සමාගමක් පවත්වාගෙන යන තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවයි. මේ කතාව ලියන මොහොත වන විටත් ඇය මුල්‍ය වංචා කිරීමේ චෝදනාවකට සැකකාරියක් ලෙස බන්ධනාගාර ගතව අවසන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට පත් ඇය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අළලා මෙම වාර්තාව සටහන් කරන බව ඔබට කීමට කැමැත්තෙමි.
දැනට සිදු කරන පරීක්ෂණ අනුව තිළිණි ඉතාම දුප්පත් පවුලක ඉපිද තම ජීවන ගමන ඇරුඹූ කාන්තාවකි. අපොස සා.පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඇය අද වනවිට කෝටිපති කාන්තාවක් දක්වා ඉහළට පැමිණීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙමින් පවතී. අයකුගේ දියුණුව සතුටු විය යුතු කරුණක් වුවත් තිළිණිගේ දියුණුව දැන් රටටම ප්‍රශ්නාර්ථයක් වී තිබේ.
විවාහ කිහිපයක් සිදු කරගෙන ඇති තිළිණි මීට වසර දෙක තුනකට පෙර සිට මෙරට සමාජයේ ප්‍රභූ පැලැන්තියට එක්වන්නේ සිතාගැනීමට පවා නොහැකි ලෙසය. තිළිණි සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ වන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඔහුට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලීසියට කළ පැමිණිල්ලක් සමඟය. මුස්ලිම් ව්‍යාපාරිකයකු වන ඔහු හට තිළිණි විසින් සිදු කළ මුල්‍ය වංචාව කෝටි 10කට අධික බව සඳහන් වේ. තිළිණිගේ කැරුට්ටුව හෙළිවන්නේ එම පැමිණිල්ල ඔස්සේ ඇරුඹි පරීක්ෂණ අනුවය.
ව්‍යාපාර ගණනාවක් එක් කර සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තිළිණි මෙරට සෑම ක්ෂේත්රයක්ම සියුම්ව ස්පර්ෂ කළ කාන්තාවකි. කෙසේ වෙතත් තිළිණි සම්බන්ධයෙන් ප්රශ්නය පැන නැගුණේ ඇය විසින් ආයෝජනය සඳහා පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමත් සමඟය. ඇය පිළිබඳ පළමු පැමිණිල්ල කළ මුස්ලිම් ව්‍යාපාරිකයා පවසන්නේ ඇයව තමන්ට හඳුන්වා දුන්නේ ඇගේ සැමියා බව පවසන ඉසුරු බණ්ඩාර නැමති අයකු බවය. ඉසුරු මෙරට සිටි ප්‍රබල දේශපාලඥයකු සමීපයේ හැදී වැඩුණු පුද්ගලයෙකි. රජ පරපුරෙන් පැවත එන බව පවසන එම දේශපාලනඥයා සමීපයේ බැලමෙහෙවරකම් කළ ඉසුරු අද වන විට තිළිණිගේ ව්‍යාපාරවල සම හිමිකරුය.
තිළිණි සමඟ ප්‍රථමයෙන් මැණික් ව්‍යාපාරයක් සඳහා සම්බන්ධ වූ එම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ එම මැණික් කිසිදු වටිනාකමක් නොමැති මැණික් බව තමන් විසින් හඳුනාගත් බවකි. එලෙස වුවත් තිළිණි විසින් එක් අවස්ථාවක මැණික් ව්‍යාපාරිකයා අමතා මුදල් ගනුදෙනුවක් සිදු කර ඇතැයි පැවසේ. ඒ බොරතෙල් නැවක් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් 40,000ක් ලබා ගනිමිනි. ඇය එම ව්‍යාපාරිකයා හට පවසා ඇත්තේ එම මුදල් ඊට පසුදින ලබාදෙන බවය. ඒ අනුව ඔහු ඩොලර් 40,000 ලබා දී තිබූ අතර ඊට පසුදින සවස තිළිණි විසින් අදාළ මුදල නැවතත් නියමිත වෙලාවට ව්‍යාපාරිකයා හට ලබා දී තිබේ.
එම ව්‍යාපාරිකයා පවසන පරිදි තිළිණිගේ සැමියා පමණක් ඔහු දැන සිටියා නම් මේ ආකාරයෙන් එකවර ඩොලර් 40,000ක් ලබා දුන්නේ කෙසේද? ඒ සඳහා වූ විශ්වාසය කුමක්ද යන්න ඕනෑම අයකුට ඇතිවන ගැටලුවකි.
දෙවැනි සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. දෙවැනි වරටත් ඇය තවත් තෙල් නැවක් සඳහා ඩොලර් 100,000 ක මුදලක් එම ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව එම ව්‍යාපාරිකයා විසින් තම පවුලට අයත් රත්රන් පවුම් 136, ක් සහ තම දියණිය පදිංචි ඔස්ට්‍රේලියාවේ නිවෙස විකුණා ලබාගත් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ද ඇය වෙත ලබා දී ඇත.
දින දෙකකින් අදාළ මුදල් ලබාදෙන බව කීවද තිළිණි එම මුදල් ලබාදීම සති දෙකක කාලයක් දක්වා ඇදගෙන ගොස් තිබිණි. එහිදී ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ යම් ගැටලුවක් නිසා අදාළ මුදල් සිර වී ඇති බවය. කෙසේ වෙතත් ව්‍යාපාරිකයාගේ බලකිරීම මත ඇය විසින් චෙක්පත් දෙකක් ඔහුට ලබා දුන්නද ඒ චෙක්පත් දෙකම අගරු වී තිබූ බව එම ව්‍යාපාරිකයා පවසයි. පසුව දිනක් ඇය විසින් ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ අදාළ මුදල් ලබාදීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසය. ඒ ඇගේ කාර්යාලය වෙතය.
ව්‍යාපාරිකයා තම දියණිය සමඟ කාර්යාලයට ගියද ඊට විනාඩි පහකට පසුව පොලීසියෙන් යැයි කියමින් පුද්ගලයකු ඔහු අමතා පවසා ඇත්තේ, එම ස්ථානය ප්‍රභූන් ගැවසෙන ස්ථානයක් බැවින් වහාම ඉවත් වන ලෙසය. ව්‍යාපාරිකයා පවසා තිබුණේ තමන් පැමිණ ඇත්තේ තිළිණිගේ ආරාධනයක් මත බවය. එහෙත් කතා කළ පුද්ගලයා දන්වා ඇත්තේ තමන් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා බවත්, දැන් තම කණ්ඩායමක් එම ස්ථානයට එවා ඔහුව අත්අඩංගුවට ගන්නා බවත්ය. අවසානයේ ව්‍යාපාරිකයා එම තර්ජනයට බියෙන් එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. එසේ ගිය ව්‍යාපාරිකයා තමාට වූ අසාධාරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේ ඉන් අනතුරුවය. ඒ තිළිණි සම්බන්ධයෙන් ප්‍රථම පැමිණිල්ල ගොනු කරමිනි.
අනතුරුව එක්තරා හිටපු ආණ්ඩුකාරවරයකු ද ඔහුට සිදු කළ කෝටි 4 ක වංචාව ගැන පැමිණිලි කර තිබිණි. ඔහුගේ කතාව මෙලෙසය.
ඩොලරය 180 ක්ව පැවති සමයේ එම ආණ්ඩුකාරවරයා අමතා තිළිණි විසින් පවසා ඇත්තේ තමන් සතු ඩොලර් 140 ක මුදලකට ලබාදෙන බවය. 180ක වටිනාකමක් 140ට ලබාදීම වාසි සහගත නිසා එම ආණ්ඩුකාරවයා අදාළ මුදල් හුවමාරුව සිදු කරගෙන ඇත. එහිදී ඇය සමඟ ඇති කරගනු ලැබූ සමීප සම්බන්ධය නිසා ඇය දෙවැනි වර සුපුරුදු තෙල් කතාව ආණ්ඩුකාරවරයාට ද පවසා තිබේ. එනම් තෙල් නැවක් පැමිණ ඇති බවත් එය ලබාගැනීමට ඩොලර් 40,000 ක මුදලක් අවැසි බවත්ය. අවසානයේ එම මුදල ලබාගත්තද ඇය නැවත එම මුදල ලබා දී නොමැත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ කතාබහ කරන ඇතැම් තොරතුරු දත් පුද්ගලයන් ඍජුව මෙන්ම වක්‍රව ද පවසන්නේ මෙම හිටපු ආණ්ඩුකාරවරයා තිළිණිගේ ව්‍යාපාරයේ කොටස්කරුවකු බවය. එනම් මුල්‍ය වංචාවකට සම්බන්ධ බව කියන කාන්තාවක සහ මෙම හිටපු ආණ්ඩුකාරවරයා එකතුවෙන් තිළිණිගේ වැඩවලට පුද්ගලයන් හඳුන්වා දුන් බවකි. කෙසේ වෙතත් එහි සත්‍ය අසත්‍යතාව සෙවීම රහස් පොලීසිය සතුය.
මේ අතර සැකකාර තිළිණි ගැන තවත් වංචාවක් හෙළිවූයේ රත්තරන් පොලු කතාවක් හරහාය. ඇය සතුව තිබූ රත්තරන් බව පැවසෙන තඹ පොලු කිහිපයක් කිහිප දෙනකුට විකුණා ඇති බව එහිදී සඳහන් විය. ඉන් එක් අයකු වන්නේ කඩවත ප්‍රදේශයේ අසපුවක් පවත්වාගෙන යන හිමිනමකි. එම හිමිනම විසින් ලක්ෂ 80ක් ලබාදී රත්තරන් පොල්ලක් ලබාගත් බව මාධ්‍යයෙහි පවා පල වී තිබුණි. තවත් කතාවක් පල වී තිබුණේ ස්වාමීන් වහන්සේ සමීපයට රත්තරන් පොලු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් තිළිණි විසින් රැගෙන ආ බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ චෝදනා එල්ලවන එම භික්ෂූන් වහන්සේ වන බොරුල්ලේ සිරිසුමන හිමියන්ගෙන් අප විමසූවෙමු. එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙසේය.
”මම සම්බන්ධයෙන් පලවෙන කතා සියල්ල බොරු. මම ඔය රත්තරන් පොලු ගන්න ගිහිල්ලවත් රත්තරන් පොලු ගන්නවත් කවුරුත් මගේ ළඟට ඇවිල්ලා නැහැ. මම ගිහිල්ලත් නැහැ. මම ලක්ෂ 80ක් දීලා රත්තරන් පොල්ලක් ගත්තා කියලා සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍යයක්. ඒ අයට විරුද්ධව මම පැමිණිලි දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔය සිද්ධියට සම්බන්ධ නෝනා අපේ දායිකාවක්. එතුමිය පන්සලේ පිංකම්වලට උදව් උපකාර කරලා තියෙනවා මිසක් ඔය කියන කිසිදු ගනුදෙනුවක් එතුමිය සමඟ මම කරලා නැහැ.”
සැකකාර තිළිණි විසින් මෙම වංචාව හිතාමතාම සිදු කර ඇති බවට සැක කළ හැකි කාරණා අනන්ත අප්‍රමාණය. ඇය එක් වරක් ලංකාවේ ලොකුම මුහුරත් උළෙල සිදු කළ අතර ඒ සඳහා දේශපාලනඥයන් සහ ප්‍රභූන් රුසක් කැඳවා ඔවුන් සමඟ ඇසුරුකම් ද පවත්වා තිබිණි. මීට අමතරව පොලීසියේ පොලිස්පති තනතුරට තරග වදින දෙන්නකු සමඟ ද ඇය සමීප සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර එක් අයකුට ඇගේ සැමියා විසින් පවත්වාගෙන යන ආචාර්ය උපාධි කඩයකින් ආචාර්ය උපාධියක් පවා ලබා දී ඇතැයි පැවසේ. සමාජයේ ජනප්‍රිය චරිත පවා තිළිණි ඉදිරියේ බලු කුක්කන් සේ හැසිරීම පුදුම සහගතය. ඒ සල්ලිවලටද නැතිනම් ලිංගික ආශාවටද යන්න අපි නොදනිමු.
පොලීසිය පවසන ආකාරයට තිළිණි ඇතැම් ගේම් ගසා ඇත්තේ ලිංගික අල්ලස් පවා දෙමින් ඒ අවස්ථාව වීඩියෝ හෝ හඬපට ලෙස තබා ගනිමිනි. මේ හරහා ඇතැම් ව්‍යාපාරිකයන්ගේ කට වසා ඇත්තේ නටපු නැටුම් රටටම හෙළි කරන බවට තර්ජනය කරමිනි. ඒ නිසා එම ව්‍යාපාරිකයන් කෙතරම් පාඩු වුවද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙස සිටීමට තීරණය කර තිබූ අවස්ථා අනන්තය.
සැකකාර තිළිණිගේ වැඩ සහ කතා ජාත්‍යන්තර මට්ටමේ ඒවාය. එක්කෝ තෙල් නැව් ගන්නය, නැතිනම් ලන්ඩන් ස්ටොක් මාර්කට් එකේ ආයෝජනය කරන්නටය. එක්තරා හඬපටයකට අනුව තිළිණිගේ ගෝලයකු ව්‍යාපාරිකයකු අමතා ඔහුව අන්දවන්නට ගොස් හොඳ පදයෙන් අහගෙන තිබුණේ කට වැහෙන්නටය. එම ව්‍යාපාරිකයාට පොඩි කොලුවකු විසින් ලන්ඩන් ස්ටොක් මාර්කට් එකේ ආයෝජනය කරන හැටිත්, එම මුදල් රුපියල්වලින් ආයෝජනය කරන හැටිත් පාඩම් කියා දී තිබිණි. එහිදී ව්‍යාපාරිකයා විමසා තිබුණේ අදාළ සමාගම මහ බැංකුවේ ලියාපදිංචි ද යන්නය. එය එලෙස ලියාපදිංචි නොමැති බවත් එසේ ලියාපදිංචි වීමට අවශ්‍ය නැති බවත් පවසන එම කොලුගැටයා ව්‍යාපාරිකයාට අපබ්‍රන්සයක් කියන්නට ගොස් වැඩ වරද්දාගෙන තිබිණි. එහිදී කෝපයට පත් ව්‍යාපාරිකයා කොලු ගැටයාට අමතන්නේ “තමුසෙලා හොරුනේ ඕයි” බව පවසමිනි.
තිළිණිගේ ජීවිතය ගත් කල ඉතිහාසයේ සිටම පැල්ලම්ය. ඇය කුලියට ගත් ඇල්ටෝ රථයක් පවා ඇය විසින් සඟවා ගැනීම නිසා තමාට පොලීසි යන්නට සිදුවූ බව පසුගියදා එම ඇල්ටෝ රථයේ හිමිකරු මාධ්‍ය ඉදිරියේ පැවසීය. කෙසේ වෙතත් මේ සියල්ල මැද තිළිණි එකවර පොළොවේ සිට ලංකාවේ 34 වැනි මහලක් දක්වා ඉහළට යාම පුදුම සහගතය. එහෙත් ඒ පුදුමය දැන් හෙළිවෙමින් ඇත්තේ ඇගේ කතාව පිටුපස වංචාව බොරුව අඩුවක් නොමැතිව පවතින බැවිනි. මේ වනවිට ඇය වෙනුවෙන් පැමිණිලි 11ක් ලැබී ඇති අතර දැනට පමණක් එම පැමිණිලිවල මුල්‍ය වංචාව කෝටි 500කට ආසන්නය. එහෙත් පොලීසිය සැක කරන්නේ තිළිණි පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් සමඟ මෙම ගනුදෙනු සිදුකර ඇති බවය. ඒ නිසා එම පුද්ගලයන්ට පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට රහස් පොලීසිය ඉල්ලීමක් කරයි.
අඩියේ සිට එකවර බැලුමක් සේ උඩට ආ තිළිණිගේ ජීවිතය පසුගිය කාලයේ මහා දැවැන්ත පිම්මක් විය. ඇය ඇතැම් අවස්ථාවල කතරගම ගොස් තිබුණේ ගුවනිනි. එපමණක් නොව ඇය සතියකට වරක් තම නිවෙසේ පැවැත්වෙන මල් පූජාවකට ලක්ෂ 3ක රෝස මල් මිලදී ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි. දැනට ලැබෙන තොරතුරු අනුව තිළිණිගේ දෛනික වියදම ලක්ෂ 50කට ආසන්නය. තිළිණි සමාජයට විශාල ලෙස උදව් උපකාර කළ තැනැත්තියකි. මේ නිසාම ඇගේ කළු පැත්ත එකී දාන මානයෙන් වැසී ගොස් තිබුණි. මේ නිසාම තිළිණි පසුපස ව්‍යාපාරික ප්‍රජාව සහ ඇතැම් නළු නිළියෝ ද දණ ගසාගෙන සිටියහ. තිළිණි ඒ ඒ ක්ෂේත්රවලට අනුව ඒ ඒ වැඩ කළ අයෙකි. ඒ නිසා ඇය හැමෝගෙම මිතුරියක් වී සිටියේ ඔවුන්ටත් නොදැනෙන්නටය.
දැන් ප්රශ්නය එය නොවේ. සැකකාර තිළිණි ප්‍රියමාලි වංචා කළා යැයි කියන එක පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ රටේ පිළිගත් මුල්‍ය සමාගමක් විසින් එය සිදු කළ බව පැවසුවා නම් පමණි. එහෙත් මහ බැංකුවේ ලියාපදිංචි නැති මෙවැනි ආයතන සමඟ ආයෝජනය කරන, ඇය වෙනුවෙන් විශ්වාසය මත මේ ආකාරයෙන් ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් සිටීම නම් පුදුමයකි. රටට එන තෙල් නැව් ගැනීමට ආණ්ඩුවට හෝ වෙනත් ආයතනයකට සල්ලි දෙන්න ඩොලර් ඉල්ලන සමයක තිළිණි විසින් තෙල් නැවක් ගැනීමට ඩොලර් 40,000ක්, 60,000ක් ඉල්ලන විට එය විශ්වාස කොට ඇඟේ තියෙන ඇඳුම පවා ගලවා දෙන පුද්ගලයන් සිටීම ගැන නම් පුදුම විය යුතුය. වසර ගණනාවක් ව්‍යාපාර කළ, දේශපාලනය කළ පොරවල් යැයි කියාගන්නා අය පවා තිළිණි නැමති කාන්තාවකට රුවටීම ගැන සිනා විය යුත්තේ කොහෙන්ද කියා අපි නොදනිමු. එක් වතාවක් නිවැරදිව ගනුදෙනු කර දෙවැනි වර ඇඩ්රස් නැතිවෙන්න දෙන තිළිණිගේ මුදල් ගනුදෙනු ගේම් එක ගැන අඩුම තරමේ 11 දෙනකු හෝ පැමිණ පැමිණිලි දැමීම ගැන සතුටු විය යුතුය. තිළිණි දුන් ලණුව ගිල දමා වමාරගන්නට නොහැකිව සද්ද නොකර සිටින අය ගැන නම් තව තවත් සොයා බැලිය යුතුය.
සැබැවින්ම තිළිණි යනු මෙරට කළු ආර්ථිකයේ සිටින එක් කාන්තාවක් පමණි. කළු ආර්ථිකය තුළ සිදුවන මුල්‍ය ගනුදෙනු ඇස් බැන්දුම්ය. දකුණින් දුන් දේ වම් අත දන්නේ නැත. කළු ආර්ථිකය දුවවන්නේ තිළිණිලා වැනි ලෝකය කා දැමූ අයයි. තමන් සොයාගත් මුදල් සම්බන්ධයෙන් නිවැරදි සහතිකයක් දෙන්නට බැරි ගොඩක් අයගේ පිහිටට සිටින්නේ තිළිණි වැනි ගේම්කාරයන් බව කිව යුතුය. ඒ නිසා එළියට නොපෙනුණත් තිළිණිව එළියට දාන්න කියන අය බොහෝය. ඒ තමන්ගේ ජාමය බේරාගැනීමටය.
බන්ධනාගාරගතව සිටින තිළිණි සම්බන්ධයෙන් අප මේ සියල්ල කීවේ පොලීසිය සහ මාධ්‍යයේ සහ සමාජයේ සිදුවන කතාබස් අනුවය. එහෙත් එක දෙයක් කීමට ඇත. තිළිණිට කෝටි 10කට එහා වංචාවේ හොට පැටලුණේ නැත්නම් අදටත් තිළිණිගේ සියල්ල ඉවසාගෙන සිටින උන් සිටින බවය. තිළිණිට වචනයක් කියන්නේ නැත. ඇතැම්විට වචනයක් කියන්න තරම් තිළිණි ඉඩක් තබන්නේද නැත. පන්සලේ හාමුදුරුවන්ගේ සිට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් පවා තිළිණි ඉදිරියේ ඇන්ඳුණා නම් අද තිළිණිව බේරාගන්න උත්සාහ දරණ අය අත ඔවුන්ද සිටිය හැක.
[ගයාන් ගාල්ලගේ | දේශය]
One Comment