‘සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය’ විසින් යෝජිත මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති ‘ජන සභා’ ක්‍රමය පිළිබඳව Black Cap Movement සහ සාධාරණ සමාජය අතර සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.
එහිදී යෝජිත ‘ජන සභා’ ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා Black Cap Movement සංවිධානය විසින් පහත යෝජනා ඉදිරිපත් කර තිබේ.
- පාලන ක්රමයක ඇති යහ ලක්ෂණයක් වන්නේ වැඩි පිරිසකගේ සහභාගිත්වය තහවුරු වීමයි. එනම් ජන සභා විසින් ගනු ලබන තීරණ සහ තීන්දු සඳහා අදාල ගම් සභා බලප්‍රදේශයට අයත් ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසකට සම්බන්ධ වීමේ අවස්ථාව තහවුරු වීමයි. ඒ වෙනුවෙන් Black Cap Movement යෝජනාව වන්නේ නවීණ තාක්ෂණය යොදා ගත යුතු බවයි. ජන සභා රැස්වීම සඳහා මාර්ගගතව සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව විවර කිරීම සඳහා සුහුරු මෙවලමක් (smart app) යොදාගත හැකිය. මෙතුලින් විදේශගත ප්‍රජාව ද ග්‍රාමීය ජන සභා සාකච්ඡා සඳහා සම්බන්ධ කර ගත හැක.
- ග්‍රාම සේවා වසමට අදාල සෑම ප්‍රතිපත්තියක් පිළිබඳව ම ග්‍රාමීය ගම් සභාවේ අදහස් සැලකිල්ලට ගැනීම වෙනුවට ඒවා සලකා බැලීම අනිවාර්ය කිරීම. එසේම ගම් සභා කොට්ඨාසය තුළ සිදුවන සියළු ම ක්‍රියාකාරකම්, ව්‍යාපෘති පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් එම තොරතුරු ගම් සභාව සමඟ පූර්ණ වශයෙන් බෙදා ගැනීම රාජ්‍ය නිලධාරීන්ට අනිවාර්ය කිරීම තුළින් ගම තුළ පාරදෘශ්‍යතාව ආරක්ෂා කරගත හැක.
- ගම් සභා බලප්‍රදේශයට අයත් ජනතාව, ගම් සභා නිලධාරී මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් යන තුන් පාර්ශවය ම නිෂ්චිත කාල රාමු තුළ ‘ජන සභාව’ වෙත වග උත්තර දීමට සහ වග කීමට බැඳී සිටීම හරහා ‘ජන සභා’ ක්රමයේ කාර්යක්ෂමතාවය තහවුරු කළ හැක.
- ප්‍රභූත්වය වර්ධනය වීම වැළැක්වීම සඳහා ග්‍රාමීය ජන සභාවේ සභාපති ඇතුළු කාරක සභාවේ නිල කාලය වසරකට සීමා කර තිබුණ ද එය ප්‍රමාණවත් කාලයක් නොවන බැවින් එය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ හැක.
- ග්‍රාමීය ජන සභා කාරක සභාවේ 55%ක තරුණ සහ කාන්තා නියෝජනය වෙන් නොකොට ඒකාබද්ධ කළ හැක.
- ප්‍රාදේශීය දේශපාලකයන් (කොට්ඨාස මන්ත්‍රී) අත් හැර ජන සභා මොඩලය නිර්මාණය කර තිබේ. ඔවුන්ද මෙම යාන්ත්‍රණයේ කොටස් කරුවන් කරගනිමින් ග්‍රාමීය ජන සභා ඵලදායී කර ගත හැක.
- ජන සභා පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ යෝජනාවලියේ රජය සමඟ කොන්ත්‍රාත් ගණු දෙණු කරන සමිති පිළිබඳ වන වගන්තියේ ‘කොන්ත්‍රාත් ගණු දෙණු’ අර්ථකථනය කර නැත. එය අර්ථකථන කළ යුතුය.
- ග්‍රාමීය ජන සභා සමඟ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධ කර ගැනීමෙන් සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය වර්ධනය කර ගත හැක.
- ජන සභා පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ යෝජනාවලියේ ප්‍රාදේශීය ජනසභා කළමනාකරණ කමිටුවේ ඝණ පූර්ණය පිළිබඳව සඳහන් කර නැත. ක්රියාකාරීත්වයේ දී එය අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත.
- ජාතික ජන සභාවේ රැස්වීම් පූර්ණ වශයෙන් සුහුරු රැස්වීම් ලෙස සංවිධානය කළ හැක.
- ජාතික ජන සභාව සඳහා සාමාජිකයන් අවස්ථානුකූලව සහ අහඹු ලෙස කැඳවීම ප්‍රායෝගික නොවේ. ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ම නියෝජනය වන පරිදි සාමාජිකයන් කැඳවීම ප්‍රායෝගික විසඳුමකි. එසේම සාධාරණ නියෝජන ක්‍රමයකින් මෙම සභාව නොකැඳවුවහොත් ජන සභා ක්‍රමවේදයේ මූලික අරමුණ වන මහජන සහභාගීත්වය බිඳ වැටෙනු ඇත.
- නව නීති පැනවීම, පවතින නීති සංශෝධනය හා පවතින නීති අහෝසි කිරීම ජනතා බලය භාවිතා කිරීමට හැකි මොඩලයක් ලෙස ජන සභා මොඩලය වර්ධනය කළ හැක.
- වහාම ග්‍රාමීය ජන සභාවක ආදර්ශයක් නිර්මාණය කර එය මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කළ හැක.
- යම් මොහොතක මැතිවරණයක් පැමිණියහොත් දේශපාලනය ඉස්මතු වන නිසා ඊට පෙර ජන සභා නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කළ හැක.