Info Sri Lanka News | www.infosrilanka.lk

Hyundai මෙරට එකලස් කිරීම අරඹද්දී, Mitsubishi ලංකාවෙන් යයි!

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අබාන්ස් සමූහයේ මූලිකත්වයෙන් මෙරටදී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිටි සෙන්ටර්හිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.

මෙම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිට ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනපතිවරයා, රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වන බව පවසා තිබේ.

“Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වෙනවා. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනපතිවරයා, “මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්. 1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා. මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.” යනුවෙන් පවසා තිබේ.

මිට්සුබිෂි කෝපරේෂන් මෙරට මෙහෙයුම් අත්හැරීමට යයි

මේ අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණු යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසකටම දායක වූ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන මිට්සුබිෂි සමාගම (Mitsubishi Corp.) සමාගම ලබන මාසයේදී මෙරට තුළ ව්‍යාපාරික මෙහෙයුම් අත්හැරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශික සබඳතා වල ප්‍රධාන හවුල්කරුවකු වූ මිට්සුබිෂි සමාගම වසර හැටකට ආසන්න කාලයක් මෙරට ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘති වල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සිය බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සහ ජපානය සමගින් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, ස්වභාවික ද්‍රව වායු (LNG) ව්‍යාපෘතිය ඇතුළු නව ව්‍යාපෘති යෝජනා හදිසියේ අවලංගු කිරිමත් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අහිතකර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්මත් මෙලෙස මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට හේතු වී තිබෙන බව සඳහන් වෙයි.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලය කොළඹ 01 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ, නැගෙනහිර කුලුණේ 24 වැනි මහලේ පිහිටා තිබේ. ඒ අනුව මෙම කාර්යාලය ලබන මාර්තු 31 වසා දැමීමට තීරණය කර ඇතැයි මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙලෙස එම සමාගම මෙරට තුළ මෙහෙයුම් අත්හැරීම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික කටයුතු සම්බන්ධයෙන් බරපතල පසුබෑමකට ලක් කරනු ඇතැයි බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මස වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.46 ක මුදලක් ශ්‍රී ලංකාව ජපානයට ගෙවීමට තිබුණි.

මිට්සුබිෂි සමාගම එතෙර විවෘත කළ ප්‍රථම කාර්යාල වලින් ශ්‍රී ලංකාවේ කාර්යාලය එක් කාර්යාලයක් වූ බවත් ශ්‍රී ලංකා සමාගම් රාශියක ව්‍යාපාර සඳහා මිට්සුබිෂි සමාගම දායකත්වය ලබාදී ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක මිට්සුබිෂි මෙහෙයුම් ප්‍රධාන හවුල්කරුවකු විය.

මිට්සුබිෂි සමාගමේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විස්සක් පමණ වුවත් එම සමාගමේ ව්‍යාපාර සහ ව්‍යාපෘති අංශ රාශියකින් ශ්‍රී ලාංකිකයන් දහස් සංඛ්‍යාවකට ජීවනෝපාය සපයා ඇතැයිද පුවත් වාර්තා පවසයි.

Related news

නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ

azhb

කැනඩා ජනගහනය මිලියනයකින් ඉහලට – 96%ක් සංක්‍රමණිකයන්

azhb

ඩොලරය හමුවේ අඩු වෙන මිල ගණන්

azhb

රට හැර යන plan international රඳවා ගැනීමට N.S.F.N.G.O උත්සාහයක

azhb

ඩොලර් අර් බුධය අදින් අවසන් ද ?

azhb

 පාසැල් සිසුන්ට උපකාර කළැයි මාධ්‍යවේදි‍යෙකුට මරණ තර් ජන

azhb