Info Sri Lanka News | www.infosrilanka.lk

ඩොලරය හමුවේ අඩු වෙන මිල ගණන්

අඩුවෙන කිරිපිටි මිල

ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුකළ හැකි වෙතැයි කිරිපිටි ආනයනකරුවන් පැවසීය.

එම මිල අඩුවීම සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වෙතැයි ද ඔවුන් පැවසීය.

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලබන අප්‍රේල් මාසයේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිත බව වාර් තා වෙයි.

පසුගිය මාසයේ ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ලිට්‍රෝ සමාගම මිල ගණන් වෙනස් නොකළ අතර ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙවර ඩොලරයේ අගය පහත වැටීමට සමගාමීව ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය ජනතාවට ලබාදීමට ලිට්‍රෝ සමාගම කැපවී සිටින බවත් මේ පිළිබඳ අවසන් තීරණයක් ලබන සතියේ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.

පළමු බිත්තර තොගය දිවයිනට

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබේ.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් සඳහන් කළේ අදාළ බිත්තර තොගය අද අළුයම දිවයිනට ළඟාවූ බවය.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවය.

වෙනස් වූ ඩොලරයේ අගය

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වෙනස්වීමක් දක්නට ලැබේ.

ඒ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් සහ ගැනුම් මිල වෙනස් වීම හේතුවෙන්.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ඩොලරයක ගැනුම් රු. 308.70ක් වූ අතර එය අද දිනයේදී රු. 310.62ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී ඩොලරයේ විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්වූ අතර එය අද දිනයේදී රු. 332.99ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දිනයේදී ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311ක් වූ අතර විකිණුම් මිල රු.329.54ක් ලෙසයි සටහන් ව තිබේ.

මේ අතර අද දිනයේදී සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310ක් ලෙස සටහන්ව තිබෙන අතර ඩොලරයේ ගැනුම් මිල රු. 325ක් ලෙස සටහන්ව ඇත.

කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු. 311.69ක් ලෙස සටහන්වූ අතර ඩොලරයේ විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්ව තිබුනි.

සෙලාන් බැංකුවේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 309ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රු. 331ක් ලෙස සඳහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 310ක් සහ විකුණුම් මිල රු. 330ක් ලෙස සටහන්ව තිබේ.

IMF මුදල වියදම් කරන හැටි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ලබාදෙන ණය පහසුකම අයවැය හිඟය පියවීමට ද යොදාගත හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මාර්තු මාසයේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට ආධාරකයක් ලෙසද මෙම ණය යොදාගත හැකි බවය.

රටට අමාරුම කොටස සිදුකිරීමට සිදුවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන සමස්ථ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක්.

IMF කොටසක් ඖෂධ ගේන්නත් ඉල්ලයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් හිමිවන මුදලින් සෞඛ්‍ය පද්ධතියේ මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාව ලබාදිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංධානය පවසයි.

ඒ අනුව ඖෂධ හිඟය, ඖෂධ සැපයුම් හා රසායනාගාර සැපයුම් ක්ෂේත්‍රවල පවතින ගැටළු නිරාකරණය කළ යුතු බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව පැවසුවේ.

සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කෙරෙන සමාජ සුබසාධක කටයුතු පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට සියලු පාර්ශව ක්‍රියා කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

එමෙන්ම ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබාදෙන පාර්ශවයන් වෙතින් තවත් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක පමණ කඩිනම් ණය ආධාර ලබාගැනීමයි ශ්‍රී ලංකාවේ දැන් අපේක්ෂාව වී ඇත්තේ.

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb

ලංකාවේ සිටින සරණාගත පිරිසක් විරෝධතාවක

azhb

ඇමති ටිරාන් අලස්ට මරණ තර්ජන

azhb