අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදහන පූජෝත්සවයේ සජීවී විකාශන කටයුතු සඳහා වැයවන අවම මුදලවත් ලබා නොදෙන්නේ නම් සජීවී විකාශය තම ආයතනයට සිදු කළ නොහැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. බී ගනේපොල විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියකින් දන්වා යවා තිබේ.
එම ලිපිය මගින් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, මූල්‍ය දුෂ්කරතාවලින් පෙලෙන ජාතික රූපවාහිනිය තුළින් චන්ද්‍රසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සජීවී විකාශයක් සිදු කරනවා නම් එම ගුවන් කාලයට අදාලව පූර්වයෙන් භාරගෙන ඇති ප්‍රචාරණ දැන්වීම්වල අවම වටිනාකම වූ රුපියල් ලක්ෂ 06ක මුදලවත් තම ආයතනයට ගෙවීමට කටයුතු කළ යුතු බවයි.
මේ අතර ඊට අදාල දැනුම් දීම ඉකුත් 18 වැනි දා තමා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවත් එහි දී ද ජාතික රූපවාහිනිය ආයතනයක් වශයෙන් මුහුණ පා තිබෙන මූල්‍යමය දුෂ්කරතාව පිළිබඳව පැවසූ බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
කුමන හෝ හේතුවකින් මෙම සජීවී විකාශය ජාතික රූපවාහිනී ආයතනයට කිසිදු මුදල් අයකිරීමකින් තොරව සිදු කරන්නට වන්නේ නම් අදාල කාලය තුළ අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරය නොකිරීමෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් අහිමි වන බවත් නිෂ්පාදන වියදම් ලෙස රුපියල් ලක්ෂ 03ක මුදලක් වැය කිරීමට සිදු වන අතර ආයතනයට අදාල කටයුත්ත නිසා සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 09ක් බව රූපවාහිනී සභාපතිවරයා ගණන් බලා තිබුණි.
එබැවින් ආදාහන පූජෝත්සවය විකාශය කෙරෙන ගුවන් කාලය තුළ රූපවාහිනී සංස්ථාවට අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරය නොකිරීමෙන් සිදු වන පාඩුව වන රුපියල් ලක්ෂ 06ක මුදල හෝ ගෙවීමට නොහැකි නම්, සජීවී විකාශය වෙනත් නාලිකාවකට ලබා දීමට කටයුතු කරන ලෙස ද රූපවාහිනී සංස්ථා සභාපතිවරයා විසින් අදාල පාර්ශව වෙත දන්වා යවා තිබුණි.
ඒ කෙසේ වෙතත්, රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත් වීම මත අදාළ සජීව විකාශය සහ ආදාහන පූජෝත්සවයේ ප්‍රචාරණ කටයුතු රූපවාහිනී සංස්ථාව විසින් සිදු කොට තිබුණි.