වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සුළුතර ප්‍රජාවන් සහ සිවිල් කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දකුණේ සමාජය අවසානයේ මර නින්දෙන් අවදි වන්නට තීරණය කර ඇත. ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කිරීම සමඟ දකුණේ සිංහල සමාජය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව කතිකාවක් නිර්මාණය වී ඇත. එහෙත් මෙකී පනතෙන් වැඩියෙන්ම පීඩනයට පත් වූ දෙමළ ජනයා මේ පනත පළමුව බලාත්මක කළ සමයේ සිට ඊට සිය විරෝධය දක්වමින් සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ විරෝධතා 2022 දී දකුණේ පැතිර යද්දී, මීට වසර ගණනාවකට පෙර ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරෝධය දක්වමින් මියගිය ලංකාවේ එකම පුද්ගලයා ගැන අත්‍යවශ්‍යයෙන් සඳහන් කළ යුතු ය. ඔහු රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් වේ .
1987 සැප්තැම්බර් මස නල්ලූර් පූජා භූමියේ දී “ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැ”යි යාපනයේ දෙමළ තරුණයෙක් හඬ නගා දශක කිහිපයකට පසුව, එකී පනත ශක්තිමත් කරමින් ආරක්ෂා කළ දකුණේ සිංහල ජනතාවට ද “ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කළ යුතු යැ‘ යි හඬ නගන්නට සිදුව ඇත. සිංහල සමාජය තිලීපන් ගැන සමාජ මාධ්‍ය ප්‍රබන්ධ කතාවලින් මත් වී ඇත. එහෙත් දෙමළ ජනයාට තිලීපන් යනු තමන්ගේ දෙමළකම විසින් කැඳවන ලද නියත රාජ්‍ය පීඩනයට විරුද්ධව සාමකාමී ලෙස අරගල කරමින් ජීවිතය කැප කළ මිනිසෙකි. මේ සටහන ලියවෙන්නේ, ‘ප්‍රචණ්ඩත්වය‘, ‘නිර්ප්‍රචණ්ඩත්වය‘, ‘අරගල‘ නිර්වචනය කරමින් සිටින සිංහල සමාජයට තිලීපන්ගේ අරගලය ගැන ලියා තැබිය යුතු හෙයිනි.
තිලීපන් පරපුර බිහිවීම
තිලීපන් වැනි තරුණ සටන්කාමීන් ශ්‍රී ලංකාව තුළ ඉබේ පහළ වු පිරිසක් නොවේ. ඔවුන් බිහිවීම පිටුපස විශාල රාජ්‍ය මර්දනයක් පවතින නමුත් තීලිපන්ලා බිහිවීම හුදු ‘ත්‍රස්තවාදයක්‘ ලෙස අර්ථ නිරූපණය කිරීමේ පහසු මඟ අපි තෝරාගෙන ඇත්තෙමු. තීලිපන්ලාගේ පරම්පරාව පිටුපස ඇත්තේ ඓතිහාසිකව ශ්‍රී ලංකා රාජ්‍ය දෙමළ ජනතාවගේ අයිතීන් පාගා දමමින් ප්‍රචණ්ඩත්වය මුදා හැරීමයි. එහෙත් අපේ කැමැත්ත වී ඇත්තේ එකී රාජ්‍ය පිළිවෙත අපට සම්මුඛ වනවිට දෙමළ ජනයා එකී රාජ්‍ය පීඩනයට ප්‍රතිචාර දැක්වූ ආකාරයේ සදාචාරාත්මක බව ගැන වධවීම ය.
සැබැවින්ම තීලිපන්ලාගේ පරම්පරාව බිහිවුණේ කෙසේද ?
තීලිපන්ලාගේ පරම්පරාව බිහිවුයේ යටත් විජිත ධනේශ්වරයේ නායකත්වයෙන් ස්ථාපිත කොටගත් සිංහල-බෞද්ධ වර්ග කේන්ද්‍රීය රාජ්‍ය විසින් දීර්ඝ කාලීනව අනුගමනය කළ දෙමළ විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙනි. අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව සමාන අයිතීන් උදෙසා හඬ නැගූ දෙමළ වැසියන්ට රාජ්‍ය ප්‍රතිචාර දැක්වූයේ ප්‍රචණ්ඩත්වයෙනි. එහෙත් සාම්ප්‍රදායික දෙමළ නායකයන් දිගින් දිගටම අනුමනය කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී සහ අවිහිංසාවාදි ප්‍රතිපත්ති මත පදනම් වූ ක්‍රියාමාර්ගයන් ය. එහෙත් ඒවාට නෑසූ කන්ව සිටි රාජ්‍ය ප්‍රතිචාර වශයෙන් ලබා දුන්නේ එකම එක පිළිතුරකි; ඒ දිනෙන් දින තීව්‍ර කළ ප්‍රචණ්ඩත්වය යි. තීලිපන්ලාගේ පරම්පරාව බිහිව හැදී වැඩුණේ සිය සාධාරණ දේශපාලන ඉල්ලීම් රාජ්‍ය මර්දනයෙන් පාගා දැමීම දෛනික ජීවිතය ලෙස අත්දකිමිනි. සමාන අයිතීන් සඳහා වූ සාම්ප්‍රදායික දෙමළ නායකයන්ගේ ක්‍රියාමාර්ග තව දුරටත් වලංගු නොවන බවටත්, ශ්‍රී ලංකා රජය කිසි දිනෙක එම ඉල්ලීම්වලට කන් දීමට සූදානම් නැති බවටත් රාජ්‍යය ප්‍රචණ්ඩත්වය හරහා තව තවත් ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කෙරුණි.
යුක්තිය පිළිබඳව දෙමළ වැසියන් තුළ තිබු බලාපොරොත්තු සියල්ල අහිමි වීමේ කටුක යථාර්ථයට මුහුණ දෙමින් හැදී වැඩුණු තීලිපන්ලාගේ පරම්පරාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම හැර වෙනත් විකල්පයක් රාජ්‍ය විසින් තමන්ට ඉතිරි කර නොමැති බව තේරුම් ගැනීමේ තර්කය තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ කරුණක් නොවේ. ඒ අනුව, දශක ගණනාවක් තම අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, තම ජනයාගේ සාමකාමී ඉල්ලීම්වලට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු සපයන රාජ්‍යයට විරුද්ධව ආයුධ අතට ගෙන වෙනම රාජ්‍යයක් බිහිකර ගැනීමට තිලීපන්ලාගේ පරපුර යොමුවීම තේරුම් ගැනීමට ද විශේෂ ප්‍රඥාවක් උවමනා නොවේ.
1979 ජූලි 14 ජේ.ආර්.ජයවර්ධන විසින් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගගේ මෙහෙයුම් නායකත්වයෙන් යුතු හමුදා බලඇණිවලට විශේෂ නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ රජයේ සියලුම සම්පත් උපයෝගි කරගනිමින් දිවයිනේ, විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ, ත්‍රස්තවාදය රටේ නීතියට අනුව තුරන් කරන ලෙස ය. 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් ඊට අවශ්‍ය නීතිමය සහන සකසා දෙනු ලැබීය. එතැන් පටන් උතුරේ දෙමළ තරුණයන් චෝදනා රහිතව රිසි සේ අත් අඩංගුවට ගැනීමත්, වධහිංසාවට ලක් කරමින් ප්‍රශ්න කිරීමත් ආරම්භ විය. දහස් ගණන් දෙමළ තරුණ තරුණියෝ සිය දෙමළ බව නිසාම පීඩාවට පත්වූහ. තරුණයන් සිය ගණනක් අත් අඩංගුවට ගෙන දරුණු ලෙස වධහිංසනයට ලක් කරමින් මරා දැමුණි. තීලිපන් නියෝජනය කළ පරම්පරාවේ කෝපයත්, සටන්කාමීත්වයත් ගොඩ නැගුණේ මෙවැනි වාතාවරණයක් තුළ ය.
උපවාසය
යාපනයේ නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට තීලීපන් සිය මාරන්තික උපවාසය ආරම්භ කළේ මීට වසර 35 ට පෙර 1987 සැප්තැම්බර් 15 දින ය. 1987 ජූලි 29 දා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව 1987 සැප්තැම්බර් 13 තීලිපන් විසින් ඉන්දීය රජය වෙත ඉල්ලිම් පහක් ඉදිරිපත් කරමින් ඉන්දීය මහා කොමසාරිස් ජේ.එන්. ඩික්සිට් වෙත විවෘත සංදේශයක් යොමු කළේය. ඉන්දීය රජය මැදිහත් වී තම ඉල්ලීම් පැය 24ක් ඇතුළත ඉටු නොකරන්නේ නම් තමන් මාරන්තික උපවාසයක් ආරම්භ කරන බව තීලිපන් ඒ මඟින් කියා තිබුණි. නමුත් ඉල්ලා සිටි පරිදි ඉන්දියාව විසින් අදාළ ඉල්ලීම් වෙත නිසි අවධානයක් යොමු නොකළ බැවින් 1987 සැප්තැම්බර් 15 දින තීලිපන් සිය මාරන්තික උපවාසය ඇරඹීය. තීලිපන්ගේ ඉල්ලීම් අතර එක් ඉල්ලීමක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සියලුම දෙමළ සිරකරුවන් නිදහස් කළ යුතු ය යන්න යි.
සැබෑ ඉතිහාසය සම්මුඛ කළ නොහැකි හෙයින් රිසි ලෙස සකසා ගත් සංශෝධිත ඉතිහාස කතාවලට සියල්ලෝ ප්‍රිය කරති. සමාජ මාධ්‍ය, ඉතිහාසය විකෘති කරන්නන්ට වේදිකාවකි. තීලිපන්ගේ අරගලය පිළිබඳව ද සමාජ මාධ්‍ය හරහා විවිධ ඉතිහාස කතා නිර්මාණය කර ඇත. තීලිපන්ගේ උපවාසය ඔහුගේ ස්වාධීන තීරණයක් නිසා නොව වෙනත් බලපෑම් මත කළ බවත්, තීලිපන් උපවාස කිරීම සඳහා කුසපත් ඇඳීමකින් තෝරාගත් බවත්, තීලිපන් ඒ වන විටත් දරුණු රෝගයකින් පෙළෙමින් මිය යමින් සිටි පුද්ගලයෙක් බවත් ආදිය එකී සංශෝධිත ඉතිහාස කතා අතර කිහිපයකි. මේවා සමාජ මාධ්‍ය තුළින් නිෂ්පාදනය කළ කතාන්දර මිසක සැබවින්ම කිසිදු මූලාශ්‍රයක් නොමැත. මෙකී සංශෝධිත ඉතිහාස කතා, එකී අරගලය කුමන්ත්‍රණයක් වැනි යමක් මිස අධිෂ්ඨානශීලි විප්ලවකාරී අරගලයක් ලෙස දැකීමට අපට ඇති අකැමැත්ත පෝෂණය කරයි.
තීලිපන් සිය උපවාස ආරම්භ කරන්නේ 1987 සැප්තැම්බර් 15 දිනයි. තීලිපන් උපවාස කාල සීමාව තුළ ආහාරපාන මෙන්ම වෛද්‍ය පරික්ෂණ පවා ප්‍රතික්ෂේප කළ අතර, විටින් විට එම ප්‍රතික්ෂේප කිරීම් අනෙක් අයට තදින් මතක් කර දුන්නේය. උපවාසයේ දෙවෙනි සහ තුන්වෙනි දිනවලදී අවට රැස් වූ ජනයා අමතමින් තීලිපන් පැවසුවේ දිවි අහිමි වුවත් තමන් උපවාසය නොනවත්වන බවත්, තමන්ගේ ජීවිත පරිත්‍යාගය ගැන කණගාටුවක් නොමැති බවත් ය. තුන්වෙනි දවසේ උපවාසය නවත්වන ලෙස කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් උපවාසයේ මූලික කොන්දේසි කඩ කරමින් වතුර පානය කරන ලෙස ඉල්ලීම විහිළුවක් නොවේදැයි ප්‍රශ්න කළ බව සඳහන් වේ. එසේම උපවාස කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නම් සැබෑ ලෙස කැපවිය යුතු බවත්, ආහාරපාන ගන්නේ නම් එය උපවාසයක් නොවන බවත් ඔහු පැවසූ බව දැක්වේ.
උපාවාසයේ තුන්වන දිනයේ කන්කසන්තුරේ කරුණා සතාසිවම් තීලිපන් ‘අවම වශයෙන් වතුර ස්වල්පයක් හෝ පානය කළ යුතුය’ යන්න එහි සිටින ලක්ෂ සංඛ්‍යාවක් වූ ජනතාවගේ ඉල්ලීමක් බව ප්‍රකාශ කර ඇත. ඊට පිළිතුරු ලෙස තිලීපන්, එම වේදිකාව මත කතා කළ පුද්ගලයෙකු ඔහුට ආහාරපාන ගන්නා ලෙස පැවසීම ලැජ්ජාවට කාරණයක් බවත් අරමුණ දිනා ගන්නා තෙක් තමන් ආපසු නොහැරෙන බවත් පවසා ඇත. තවද ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ තමාට ගෞරව කරන්නේ නම්, ආදරය කරන්නේ නම් ආහාරපාන ගැනීමට තමන්ට බල නොකරන ලෙස යි.
තීලිපන්ගෙ උපාවාසයේ හතරවෙනි දිනයේ දී ෆාදර් සිංගරයාර් ( Sinngayar) ( 1983 වැලිකඩ සිරගෙදර සිරකරුවන් 52 ඝාතනය කරන අවස්ථාවේ ෆාදර් සිංගරයාර් ද සිරගතව සිට ඇත) තීලිපන් මුණගැසි උපවාසය දිගටම කරගෙන යන නමුත් වතුර බිඳක් බොන ලෙස අයැද සිටිය ද තීලිපන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
1987 සැප්තැම්බර් 26 දින තීලිපන් දින 12ක් පුරා වතුර බිඳක් හෝ පානය නොකරමින් කළ මාරන්තික උපවාසය ඔහුගේ මරණය සමඟ නිමාවට පත්විය. සැප්තැම්බර් 26 උදෑසන ඔහුගේ සමුගැනීම තහවුරු කළ වෛද්‍ය ශිවකුමාර් හඬා වැළපෙමින් තීලිපන්ගේ දෙපා මුල වැඳ වැටුණු බව වාර්තා වේ. ඒ වන විට යාපනයේ නල්ලුර් කොවිල් පරිශ්‍රය පුරා රැස්ව සිටි දහස් ගණනක් වූ දෙමළ ජනයා හඬා වැළපුණහ. මිය යන තෙක්ම ඔහුගේ ඉල්ලීම වූයේ තමාට වතුර බිඳක් හෝ කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා නොදෙන ලෙස යි. තීලිපන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත දෙමළ ජනයා රැස් වූහ. තිලීපන්ගේ දේහය සැප්තැම්බර් 28 දින ඔහුගේ අවසන් කැමැත්ත අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයට භාර දෙන ලදී.
තීලිපන්ගේ මරණය දෙමළ සමාජයට දැඩි බලපෑම් ඇති කළ බව නොරහසකි. තීලිපන්ගේ අවිහිංසාවාදී අරගලය සහ මරණය විසින් රාජ්‍යය දෙමළ ජනයාගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට දෙන ප්‍රතිචාරය නැවත වරක් තහවුරු කරන ලදී. එපමණක් නොව තිලීපන්ගේ මරණය අනුස්මරණය කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයට අනුව ද්‍රෝහි ක්‍රියාවක් වන අතර, ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස සැළකේ. 2010 වසරේදී නල්ලුර් කන්දස්වාමි කෝවිල අසළ නිර්මාණය කර තිබූ තීලිපන් ගේ ස්මාරකය ද ශ්‍රී ලංකා හමුදාව විසින් කඩා දමන ලදී. රජය විසින් වරින් වර විවිධ නීති මඟින් තීලිපන් ස්මරණය කිරීම වාරණය කර ඇත. 2020 වසරේ පාර්ලිමේන්තුවේ වාරණ නියෝගයක් පනවමින් තීලිපන් සැමරුම රජය විසින් තහනම් කළේය. එම වාරණය හෙළා දකිමින් සැප්තැම්බර් 28-29 උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක විය. එහිදී පොලිසිය මැදිහත්ව වසා දැමුණු කඩවල් බලහත්කාරයෙන් විවෘත කිරීමට පවා උත්සහ කළේය. 2021 වසරේදී කොවිඞ් වසංගතය පාලනයට යොදා ගන්නා සෞඛ්‍ය රෙගුලාසි හා අපරාධ නීතිය යොදා ගනිමින් තීලීපන් සැමරීම වාරණය කිරීමට රජය උත්සාහ කළේය. ඒ අනුව 2021 සැප්තැම්බර් 23 වැනිදා යාපනය පොලීසිය විසින් තිලීපන් ස්මරණ කළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, යාපනය මහ නගර සභාවේ මන්ත්‍රී එස්. රජිව්කාන්ත් සහ මන්ත්‍රීවරයාගේ සහායකයකු වන තංගරාජා රාජ ශ්‍රී ස්කන්ධන් අධිකරණ වරෙන්තුවක් හෝ ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගන්නා ලදී.
2022 වසරේ උතුරේ තීලිපන් සැමරීම සිදු කෙරුණේ එදා තීලිපන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් විරුද්ධව වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දකුණේ සමාජය මර්දනය අත්දකිමින් තිබෙන මොහොතක ය. රාජ්‍ය විසින් තීලිපන්ලාගේ පරම්පරාවට මර්දනය කළ අන්දම වඩාත් සවිඥානිකව කියවාගැනීමට ඇති හොඳම අවස්ථාව තීලිපන් මියගොස් 35 වසරකට පසුව එළැඹ ඇති මේ අවස්ථාව විය හැක.
ඉතිහාසයේ විගඩම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංශෝධනය කිරිමේ පාර්ලිමේන්තු විවාදයේ දී, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ පැවසුවේය,
”එදා මට මතකයි උතුරේ තීලිපන් තරුණයා..විශ්වවිද්‍යාල ශිෂ්‍යයා උපවාස කරලා….මාමාරාන්තික උපවාස කරලා කිව්වා, මේ පනත උතුරේ අපට විතරක් නෙවෙයි…දකුණේ උඹලාටත් මේ පනතේ මර්දනය ළඟා වෙනවා. එදාට තමයි ඔයාලාට තේරෙන්නේ කියලා ඒ ජීවිත පරිත්‍යාගයෙන් ඒ තීලිපන් එදා කිව්වේ මේ මර්දන පනත දෙමළ ජනතාවටත්, සිංහල ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත් එරෙහිව පාවිච්චි කරනවා කියන එක කල්තියා දැකපු නිසායි.”
මෙම ප්‍රකාශය තීලිපන් සහ කුට්ටුමනී විසින් කළ ප්‍රකාශ එකතු කරමින් විජිත හේරත් විසින් නිර්මාණය කළ ප්‍රකාශයක් බව කිව යුතුය. කලක රාජ්‍ය මර්දනයේ ගොදුරක් වූ ජනතා විමුක්ති පෙරමුණ පීඩක රාජ්‍යයේ කොටස්කරුවන් වීමට තීන්දු කර දශක දෙකක් ඉක්ම යන තැන රාජ්‍ය මර්දනයේ තරම ඔවුන්ට සිහිපත් වී තිබේ.
‘ඉතිහාසය නැවත වතාවක් සිදුවන්නේ පළමුව ඛේදවාචකයක්ද දෙවැනුව විගඩමක් ද ලෙසින්’ යැයි කාල් මාක්ස් ලුයී බොනපාට්ගේ බෘමයර් 18 වැනිදා’ ලිපියේ තැනක ලියයි. අපේ ඉතිහාසයේ ඇති ඛේදවාචකය නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා මුලින්ම දෙමළ වැසියන්ද, පසුව 88-89 කාල සීමාවේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දකුණේ සිංහල ප්‍රජාවද, මෑතකාලීනව මුස්ලිම් ප්‍රජාවද රාජ්‍ය විසින් අමානුෂික ලෙස මර්දනය කිරීම පිළිබඳව වූ කතාවයි. ඉතිහාසයේ විගඩම වන්නේ, තිලීපන්ලා මර්දනයට ලක් වූ එම පනත යටතේම පසුව මර්දනයට සහ සංහාරයට ලක්වුණ ජනතා විමුක්ති පෙරමුණ පසුකාලීනව රාජ්‍ය මර්දනයේ කොටස්කරුවන් බවට පත් වී තමන්ගේ පක්ෂය සහ පක්ෂ සාමාජිකයන් මර්දනය කිරීමට යොදාගත් සියලුම මර්දන නීති ශක්තිමත් කිරීමට පසුකාලීනව දර දිය ඇද, වර්තමානයේ දැන් නැවත වතාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව හදිසියේ අවදි වී ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීමයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අමානුෂික බවෙන් දැඩි ලෙස පීඩා විඳි තිලීපන්ලාගේ පරපුර එකී පනතටත්, එම පනත ගෙන ආ රාජ්‍ය ව්‍යුහයටත් අභියෝග කළේය. නමුත් එකී පනත යටතේම මර්දනයට සහ සංහාරයට ලක්වුණ ජනතා විමුක්ති පෙරමුණ පසුකාලීනව රාජ්‍ය මර්දනයේ කොටස්කරුවෝ වූහ.
තිස් පස් වසරක් ඇවෑමෙන් වර්තමානයේ දකුණේ සමාජය විසින් හඬ නගන්නේ එකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් අත් අඩංගුවට ගන්නා ලද සිංහල ශිෂ්‍ය නායකයන් නිදහස් කරන ලෙස ය. ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන දියත් වූ විරෝධතාවයේ ක්‍රියාකරී වූ ශිෂ්‍ය නායකයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට පෙර සිටම දෙමළ සහ මුස්ලිම් ජනයා මර්දනය කිරීමට මෙම පනත යොදා ගනනිමින් තිබුණි. එදා රාජ්‍ය විසින් තිලීපන්ලාගේ පරම්පරාව මෙන්ම, ඉන් පසු පරම්පරාවන්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මර්දනය කරන විට දකුණේ බහුතරයක් පළමුව නිහඬවෙමින් ද, දෙවනුව එම පනතෙන් ත්‍රස්තවාදීන් ‘පමණක්’ මර්දනය කරන බව දක්වමින් එය අහෝසි කිරීමට රජයට බලකරන්නන් ත්‍රස්තවාදීන් ලෙස චෝදනා කරමින්ද එම මර්දන නීති ආරක්ෂා කළහ. එදා තීලිපන්ලාගේ පරම්පරාව පැවසුවේ, අද ත්‍රස්තවාදය නාමයෙන් දියත්වන රාජ්‍ය මර්දනය ඊළඟට ඔබට ද දියත්වන තෙක් ඔබ එය තේරුම් නොගන්නා බව ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වර්තමානයේ විප්ලවීය සටන් පාඨ මොරදෙන බහුතරයක් තීලිපන්ලාගේ පරම්පරාව එකී පනත තුළින්ම මර්දනයට ලක් කරන විට එකී පනත රැකගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කිරීමට සපථ කළ අය වේ. එකී රාජ්‍ය මර්දනය සාධාරණීකරණය කිරීම අදද ඔවුහු සිදු කරති. දශක ගණනාවක් සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි අමානුෂික මුහුණුවර පෙන්වමින් එය අහෝසි කිරීම සඳහා හඬනැගූ සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් කොටි හිතවාදීන්, දේශද්‍රෝහින් ලෙස නම් කළ දකුණේ සමාජය අද තමන්ට අභිමුඛ වී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කොතරම් කලක් විරුද්ධ වනු ඇති ද ?
සහෘදස්පන්දන – தோழமைத் துடிப்பு