එජාපයේ තරුණ ලොක්කෙක් මුදල් විශුද්ධිකරනය නිසා අත්අඩංගුවට: මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මඟින් උපයලා!

HotLocal

නීති විරෝධී අන්දමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් දේපළ භාවිත කිරීම හා මුදල් විශුද්ධිකරනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයක තරුණ බළකායේ සභාපති හා නැගෙනහිර කුප්පියාවත්ත ආසන සංවිධායක තරිදු මධුසංක සමග ඔහුගේ මව සහ නැන්දනිය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට චෝදනා එල්ල වූ දෙමටගොඩ රුවන්ගේ පුතා වන තරිදු මධුසංඛ ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත ප්‍රදේශයේදීය.

එසේම දෙමටගොඩ රුවන්ගේ බිරිඳ වන ශානිකා ලක්මිණි හා රුවන්ගේ වැඩිමහල් සහෝදරිය වන සමන්ති නිර්මලා යන කාන්තාවන් දෙදෙනා දෙමටගොඩ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ රුවන් විසින් නීති විරෝධී අන්දමින් උපයාගත් රුපියල් ලක්ෂ දහසක් වටිනා දේපළ මොවුන් තිදෙනාගේ නම්වලින් මිලදී ගෙන ඇතැයි අනාවරණයවීමත් සමගය.

දෙමටගොඩ රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කරමින් නීති විරෝධී වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිට 2021දී ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකරන ලද විමර්ශනයකදී රුපියල් කෝටි 30ක පමණ වාහන, ස්වර්ණාභරණ හා ඉඩම් නීති විරෝධී වත්කම් කොට්ඨාසය බාරයට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ කරන ලද විමර්ශනයකින් පසුවද ඒ බව තහවුරු වී ඇත.

Leave a Reply