fbpx

සන්ෂයින් හෝල්ඩින්ග්ස් බිලියන 5.5ක ලාභයක් වාර්තා කරයි!

BusinessHot

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇතැයි පවසයි.

එසේම පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10%ක පිරිවැටුමක් සහ 44%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර අදාල කාලය තුළ මූල්‍ය පිරිවැය අඩු වීම සහ ව්‍යාපාර වර්ධනය හේතුවෙන් ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 5.5 ක් දක්වා වර්ධනය වී ඇත.

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 50% කි. මේ අතර පාරිභෝගික අංශය 35% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 15% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘’සමූහයේ සෑම ප‍්‍රධාන අංශයක්ම හරහා ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ක‍්‍රමයෙන් යථා තත්වයට පත්වන අතරතුර කෙටි කාලීන අභියෝග ජය ගැනීමට සමූහයට උපකාර කර ඇති අපගේ කණ්ඩායමේ කැපවීම, ඔරොත්තු දීමේ හැකියාව සහ ඵලදායී මූල්‍ය කළමනාකරණය ඉතා ඉහළයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධ දැඩි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග හේතුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද සන්ෂයින් සමූහය ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වන අතරම, සමූහයේ සියලූම පාර්ශ්වකරුවන් සඳහා එහි වටිනාකම ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා.’’ යනුවෙනි.

සුව සේවා අංශය

සුව සේවා අංශය යටතේ ඇති සියලූම ව්‍යාපාර සලකා බලනු ලබන කාල පරිච්ෙඡ්දය තුළ සමූහයේ සුව සේවා අංශය රුපියල් බිලියන 21ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 19.3%ක කැපී පෙනෙන වැඩි වීමකි. ඖෂධ අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 4.4% කින් සහ වෛද්‍ය උපාංග අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 40.8% කින් වර්ධනය වූ අතර මෙයට මිල සහ විකුණනු ලැබූ වෛද්‍ය උපකරණ ප‍්‍රමාණය වැඩි වීම හේතු විය. පාරිභෝගික වෙළෙඳාම් අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 20.2% ක වැඩි වීමක් පෙන්නුම් කළ අතර එය පෙර වසර හා සැසඳීමේදී 19.0% ක වර්ධනයකි.

සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 193.6% ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු විය. සමූහයේ සුව සේවා අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීම (EBIT) රුපියල් බිලියන 3.4ක් විය.

පාරිභෝගික අංශය

පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 14.8% කින් ඉහළ ගොස් FY24 පළමු මාස නවයේදී රුපියල් බිලියන 9.7 ක් වාර්තා කර ඇත. 2023-24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවයේදී දේශීය පාරිභෝගික අංශය ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කළ අතර සමූහයේ පාරිභෝගික සන්නාම අඛණ්ඩව වෙළඳපල කොටස් වැඩි කරගැනීමට සමත් විය. සමස්ත තේ කාණ්ඩය පසුගිය වසරට සාපේක්ෂව 10.1% වර්ධනයක් සහ වෙළෙඳපොල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 58.8%ක වර්ධනයක් පෙන්නුම් කළේය. මිල ඉහළ ගියද, පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම 20.9% කින් පහත වැටී ඇත. එම අංශයේ විකුණුම් ප‍්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 27.4% කින් අඩු වීම මෙම පහත වැටීමට හේතු විය. කෙසේ වෙතත්, දේශීය ව්‍යාපාරවල වර්ධනය හේතුවෙන් පාරිභෝගික අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 111.6% කින් ඉහළ ගොස් ඇත. අපනයන අංශයෙන් උපයාගත් ආදායම පෙර වසරට සාපේක්ෂව 28% කින් අඩු වී ඇති අතර අපනයන ප‍්‍රමාණය අඩුවීම සහ අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් මෙයට හේතු විය.

කෘෂි ව්‍යාපාර අංශය

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 6.5 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 2.5%ක පහත වැටීමකි. ඉල්ලූම සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් පාම් ඔයිල් මිල පහත වැටීම මෙයට මූලික වශයෙන් හේතු විය. කෙසේ වෙතත්, පාම් ඔයිල් නිෂ්පාදනය පසුගිය වසරේ එම කාලය තුළ නිෂ්පාදනය කළ කිලෝග‍්‍රෑම් මිලියන 10.5 ට සාපේක්ෂව මෙම කාලය තුළ කිලෝග‍්‍රෑම් මිලියන 12.2 ක් වාර්ත කර ඇති අතර එය 16.7%ක වැඩි වීමකි. විකුණුම් සහ කිරි මිල ඉහළ යාම හේතුවෙන් කිරි ආශ‍්‍රිත ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව, 30.2% කින් වර්ධනය විය. කෘෂි ව්‍යාපාර අංශයේ බදු පසු ලාභය (PAT) 2024 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවය සඳහා රුපියල් බිලියන 2.2 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 15.1% ක අඩුවීමක් පෙන්නුම් කරයි.

Leave a Reply