ඔන්ලයින් පනත යටතේ පළමු නඩුවෙන් ම රතු එළියක්!

#FakeNewsAlertHotLocal

ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ වන පළමු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

මෑතකදී සම්මත කෙරුණු මෙම පනත යටතේ පළමු අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින්.

ඒ අනුව ඔහුට එරෙහිව අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම වළක්වාලමින් එහි වගඋත්තරකාර පාර්ශ්වයන්ට අධිකරණය කොන්දේසි සහිත නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ ගයත්‍රි බිම්බා, ජනක රාජපක්ෂ, ඕෂල හේරත්, යසලාල් පෙරේරා, කවිශ්වර ගුණරත්න, ජාමුණි කමන්ත තුෂාර ඇතුළු පිරිසක්.

2023 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්තිය ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් පෙත්සම්කාර ජනක රත්නායක මහතාට පක්ෂව මෙම කොන්දේසි සහිත නියෝගය නිකුත් කළ අතර පනතේ 24 (4) වගන්තියේ දක්වා ඇති එම නියෝගය පරිදි විද්‍යුත් ක්‍රම මගින් වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙස නියෝග කර තිබෙනවා.

ජනක රත්නායක සිය අයදුම්පත්‍රයේ සඳහන් කර තිබුණේ වගඋත්තරකරුවන් පෞද්ගලික තොරතුරු සංසරණය කිරීමට හෝ බෙදා හැරීමට උත්සාහ කරන බවයි.

තමා “ඉලක්කගත පුද්ගලයකු” බවත්, පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් කිහිප දෙනකුගෙන් එක් අයකු හෝ කිහිප දෙනෙකු ව්‍යාජ ප්‍රකාශ සන්නිවේදනය කරමින් තමාට හිතාමතාම හිරිහැර කරන බවත් පෙත්සම්කරු විසින් වැඩිදුරටත් චෝදනා කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන්, නෙරංජන් ඊරියගොල්ල, රශ්මිණී ඉන්දතිස්ස, නවීන් ජයමාන්න ඇතුළු නීතිඥයෝ පිරිසක් පෙනී සිටින බව සඳහන්.

[News 19]

Leave a Reply