fbpx

ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට මරු වැඩක්!

BusinessFeaturedHot

අමුල් සමාගම හා එක්ව ඉන්දීය රජය හා ලංකා රජය මෙරට කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කටයුතු කරමින් ඇති පසුබිමක් තුළ විවිධ දේශපාලන කණ්ඩායම් හා සංවිධාන සිය පෞද්ගලික වුවමනාවන් මත විවිධ මතවාද පතුරවමින් තිබේ. මේ ඒ පිළිබඳව කෙරෙන විපරමකි.

ඉන්දියාව ලංකාවේ කිරි කර්මාන්තයට මොකක්ද කරන්න හදන්නෙ…?

මේ දිනවල ලංකාවේ දේශපාලනය තුළ ඉතාම ජනප්‍රිය සටන් පාඨයක් වන්නේ ඉන්දියාව විසින් ලංකාවේ පශු සම්පත මංකොල්ල කන්න යන බවත්, ඉන්දියානු ව්‍යාප්තවාදය විසින් ලංකාවේ ජාතික සම්පතක් වන පශු සම්පත් මණ්ඩලය අත්පත් කරගැනීමට සැරසෙන බවත් ය. අරගල මානසිකත්වයකින් මතුවෙන මෙකී සටන් පාඨ නිසා සාමාන්‍ය ජනයා සිදුවන්නේ කුමක්ද කියා වික්ෂිප්තව සිටින ආකාරයක් නිරීක්ෂණය වේ.

ලංකාවේ ‘කිරි’ සහ ඉන්දියාවේ ‘කිරි…..

ශ්‍රී ලංකාව කිරි අවශ්‍යතාවයෙන් 60% ක පමණ ප්‍රමාණයක් වාර්ෂිකව විදේශයෙන් ආනයනය කරනු ලබයි. මේ නිසා කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ඉතා ඉහළ වන නිෂ්පාදන සුලබතාවය ද පහළ මට්ටමක පවතී. එම නිසා සාමාන්‍ය ජනතාවට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට අපහසුවීම පෝෂණ ආරක්ෂණය සමඟ සෘජුවම සහ සම්බන්ධව පවතී. ලංකාවේ ළමා මන්දපෝෂණය පිළිබඳ දත්ත පවසන්නේ ද ළමුන් අතර ප්‍රෝටීන් ඌණතාවයන් බහුල බවයි. මෙය සෘජුවම බුද්ධි වර්ධනය සමඟ බලපායි. මේ තත්ත්වයට ලංකවේ කිරි කර්මාන්තය අභාග්‍යය සම්පන්න තත්ත්වයක පැවතීම සෘජුවම වගකිව යුතුය. ලංකා පශු සම්පත් මණ්ඩලය විශාල සම්පත් ප්‍රමාණයක් සහ සේවක සංඛ්‍යාවක් සහිතව ක්‍රියාත්මක වුව ද ලංකාවේ දරුවන්ගේ පෝෂණ ආරක්ෂණය සම්බන්ධ ගැටලුවලට පිළියමක් ලෙස කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන දරුවන් අතර සුලබ කිරීම සඳහා කිරි නිෂ්පාදන නවීන තාක්ෂණය රැගෙන එන්නට අපොහොසත් වී තිබේ.

ඉන්දියාවද 1950 සහ 60 දශකවල ගත කරන ලද්දේ අද අප මුහුණ දෙන ලද තත්ත්වයට සමාන තත්ත්වයකටය. එකල ඉන්දියාවේ කිරි කර්මාන්තය ඉතාම පහළ අවධියක පැවැතුණි. නමුත් ඉන්දීය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කිරි ගොවි සමුපකාර ක්‍රමය සංවර්ධනය කරමින් ගන්නා ලද දූරදර්ශී ක්‍රියාමාර්ග නිසා අද වන විට ඉන්දියාව කිරි නිෂ්පාදනය අතින් ස්වයං පෝෂිතව ඇත්තාක් මෙන්ම ලොව අංක 1 කිරි නිෂ්පාදකයා බවට පත්ව සිටී. ලංකාවේ කිරි කර්මාන්තය ගොඩ ගැනීම සඳහා ඒ අනුව ඉන්දියාවේ පසුගිය 50 වසරක සංවර්ධන චාරිකාව තුළින් උගත හැකි පාඩම් බොහෝය.

ලංකාවට ඉන්දියාවෙන් ලබාගත හැක්කේ මොනවාද…?

ලංකාවේ පාරිසරික තත්ත්වයන් සහ ඉන්දියාවේ පාරිසරික තත්ත්වයන් බොහෝ දුරට සමානය. ලංකාවේ ගවයින්, තෘණ බිම් තත්ත්ව ඉන්දියාවට සමානය.

ලංකාවේ සහ ඉන්දියාවේ ‘කිරි’ සහයෝගීතාවයක් ඇතිකර ගතහොත් ලංකාවට ඉන්දියාවේ විශාලතම කිරි හවුල්කරුවා වීමේ හැකියාවක් පවතින බව පෙනී යයි. ලොව විශාලතම ජනගහනය සහිත වෙළඳපළ වන ඉන්දියානු වෙළඳපළ ආසන්නයේ පිහිටි ලංකාවට එවැනි සහයෝගීතාවයකින් ලබාගත හැකි ප්‍රතිලාභ අතර බොහෝය. අවශ්‍ය වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ මාර්ගෝපදේශයක් පමණි. ලංකාවේ රජය සහ ඉන්දියාවේ රජය අතර මේ සඳහා එකඟතා වර්ධනය විය යුතු අතර දෙරටේම කිරි කර්මාන්තය ආශ්‍රිත පෞද්ගලික ව්‍යවසායකයින්හට මෙම සහයෝගීතාවය තුළින් එක්ව වැඩ කිරීමට අවස්ථාව උදාවිය යුතුය. එවන් තත්ත්වයක් තුළ පසුගිය 50 වසරක ඉන්දීය අත්දැකීම, තාක්ෂණය, නවීන දැනුම ආදිය ලංකාවේ කිරි කර්මාන්තය සඳහා උකහා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති අතර එය විසින් ලංකාවේ කිරි කර්මාන්තයේ ඉදිරි සංවර්ධනයට මනා පිටුබලයක් සපයනු ඇත.

අමුල් සමාගම ඉන්දීය රජය හා ලංකාවේ රජයද එක්ව කරන්න හදන්නෙ කුමක්ද….?

පසුගිය වසරේ සිදුවූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ද ලංකාවේ මෙම කිරි ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කෙරුණි. ඒ අනුව දෙරටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සමඟ සහයෝගයෙන් කිරි කර්මාන්තයේ දියුණුව සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් සඳහන් කර සිටියි. මෙය සිදුවන්නේ ඉන්දියාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගමක් වන අමුල් සමාගමේද දායකත්වය ලබා ගනිමිනි. අමුල් සමාගම යනු ඉන්දියාවේ දැවැන්තම කිරි නිෂ්පාදන සමාගම වන බැවින් එයින් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම ලබාගත හැකි වාසි බොහෝ ඇති බව කිව හැකිය.

වැඩසටහන ක්‍රියාවට නංවන්න යන්නේ කෙසේද….?

මේ යටතේ පළමුව දෙරටේම පාර්ශ්වකරුවන් සහිත හවුල් සමාගමක් ස්ථාපිත කිරීම සිදුවන අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළවල් 32 ක් මේ යටතට ගෙන සංවර්ධනය කිරීමට නියමිතය. මෙම හවුල් සමාගම සඳහා ඉන්දීය පාර්ශ්වයෙන් ඉන්දීය ජාතික පශු සම්පත් මණ්ඩලය සහ අමුල් සමාගම සම්බන්ධ වන අතර ශ්‍රී ලංකා පාර්ශවයෙන් කාර්ගීල්ස් සමාගම සම්බන්ධ වීම සිදුවෙයි. මේ යටතේ කිරි ගොවිපළ සංවර්ධනය කරමින් ලංකාව තුළ සාමාන්‍ය ජනයාට කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන දැරිය හැකි මිලකට සුලබ කිරීමට කටයුතු කිරීමට සහ කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය තුළින් ලංකාවේ පෝෂණ ආරක්ෂණය ඇති කිරීමට කටයුතු කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සහ මිල්කෝ ආයතනයේ කළමනාකාරීතවය මෙම හවුල් සමාගම මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමඟින් කිරි ගොවිපළ සංවර්ධනය කිරීම, කිරි නිෂ්පාදනය සඳහා මිල්කෝ ආයතනය සතු තාක්ෂණ ධාරිතා ඉහළ නැංවීම, සේවක ප්‍රජාවගේ ධාරිතා සංවර්ධනය සහ පුහුණුව, නවීන යන්ත්‍ර සූත්‍ර හඳුන්වාදීම සහ ගොවිපළවල ගව සම්පත වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීම, තත්ත්වයෙන් උසස් ගවයින් බෝ කිරීම සඳහා, ජාන අතින් උසස් ගවයින් ගොවිපළ සඳහා ලබාදීම ආදිය සිදු කිරීමට නියමිතය.

එමෙන්ම කිරි ගොවියන්ගෙන් කිරි මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත සියලු කටයුතු ඩිජිටල් පද්ධතියක් හරහා සිදු කිරීමට නියමිත අතර, එමඟින් ප්‍රසම්පාදනය තුළ වඩා විනිවිදභාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. එමෙන්ම මිල්කෝ සමාගමේ මෙහෙයුම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීම, බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සහ අලෙවි ජාල ශක්තිමත් කිරීම මඟින් කිරි ආශ්‍රිත නිෂ්පාදන දිවයින පුරා ප්‍රචලිත කිරීමට ද සැලසුම් කර ඇත.

අපට අත්වන වාසි මොනවාද…?

මෙම හවුල් සමාගමට දැනට පශු සම්පත් මණ්ඩලය සතුව පවතින ඉඩම් බදු පදනම මත ලබාදීමට නියමිත අතර එසේ ලබාදීමේදී සම්පූර්ණ ගිවිසුම් කාලයට අදාළ මුදල රජයට එකවර ලබාගැනීමට නියමිතය. එමෙන්ම දැනට පවතින යන්ත්‍ර සූත්‍ර සඳහා ද බද්දක් රජයට ලැබෙනු ඇති අතර දැනට පවතින තොගවල වෙළඳ පොළ වටිනාකම රජයට හවුල් සමාගම විසින් ගෙවනු ඇත. ඊට අමතරව හවුල් සමාගම විසින් රජයට නියමිත බදු මුදල් ද ගෙවනු ඇත. දැනට පශු සම්පත් මණ්ඩලයේ සේවකයින් සහ මිල්කෝ සමාගමේ සේවකයින් නව හවුල් සමාගමේ සේවකයින් බවට පත්වනු ඇත. ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය සහ පුහුණු වැඩසටහන් තුළින් විශේෂ හැකියා සංවර්ධනයක් ද සිදු වනු ඇත.

ඩොලර් මිලියන 35කට අධික ආයෝජනයක් මෙමඟින් ලංකාවට හිමිවන අතර මෙමඟින් වසර පහක් තුළ ලංකාවේ කිරි නිෂ්පාදනය 53% කින් වර්ධනය කිරීමට නියමිතය. එය වසර දහකයදී එමෙන් දෙගුණයක් කිරීමට අපේක්ෂිතය. කිරිවලින් ස්වයං පෝෂිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ලංකාවේ පෞද්ගලික අංශය සහ ඉන්දියාවේ අමුල් සමාගමත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත් හවුල් කරගනිමින් මේ දරන වෑයම තුළින් පෝෂණ ආරක්ෂාව අතින් ඉහළ ජාතියක් වසර පහක කාලයක් තුළ දී බිහිකර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

කේ. ආර්. නිලන්ත (සිළුමිණ)

Leave a Reply