fbpx

පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නවීන පෙර පාසල අනිවාර්ය කරයි!

HotLocal

සියලු දූ දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට යටත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසීය.

ඒ අනුව පාසලේ 1 වසරට පෙර වයස 4 දී සෑම දරුවෙකුටම පෙර පාසල් යාම අනිවාර්ය කිරීම 2026 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත. කෙසේ වෙතත් මේ වසරේ සිටම පෙර පාසල් යාම අත්‍යවශ්‍ය අධ්‍යාපනයක් බවට පත් කර ඇත.

2026 වසරේ සිට පෙරපාසල් අවධියේ සිට සමස්ත පාසල් අධ්‍යාපන කාලයම වසර 13ක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදු කෙරෙනු ඇත.

ඒ අනුව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් සමය 1 වසර සිට 12 වසර දක්වා කෙටි කර වසර 12 කින් අවසන් කිරීමට නියමිතය.

මේ වන විට බොහෝ පෙර පාසල් පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී ඒවා විධිමත් කිරීම සඳහා පළාත් පාලන ආයතන හා පළාත් සභා යටතේ නීති මාලාවකට යටත්ව නියාමනය හා ලියාපදිංචි කිරීමද සිදු කෙරෙනු ඇත.

පෙර පාසල් පහසුකම් අඩු පළාත් සඳහා පාසල් තුළ පෙර පාසල් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිතය.

එමෙන්ම සෑම පෙර පාසල් ගුරුවරයෙක් වෙනුවෙන්ම ඉදිරියේදී පෙර පාසල් ගුරු පුහුණුව විධිමත්ව සිදු කිරීමට අපේක්ෂිත අතර, සෑම පෙර පාසල් ගුරුවරයෙකුටම වසරක ඩිප්ලෝමාව අනිවාර්ය කෙරේ.

මීට අමතරව පෙර පාසල් භෞතික සම්පත් අවම නිර්ණායක යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර මෙය අධීක්ෂණය කිරීමට පළාත් පාලන ආයතන හා පළාත් සභාවන්ට බලය පැවැරීමට පියවර ගැනේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දෙන විෂයමාලාවන්ට අනුව පමණක් පෙර පාසල් අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

Leave a Reply