පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර 05ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා සිදු කරනු ලබන සියලු වැඩ කටයුතු ආධ්‍යාත්මික පසුබිමක් අනුව සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලනමය පැතිකඩක් ලබා දීමට බලාපොරොත්තු නොවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
දේශපාලන පක්ෂ නායකයන් මේ පිළිබඳ විමර්ශනය සිදු කරන බවට පොරොන්දු ලබා දෙන අතර, එම පොරොන්දු ඉටු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්, කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාචිකව ලබා දුන් පොරොන්දුවක් මත විශ්වාසය තබා රැවටීමට ලක් වුණු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹ අගරදගුරු මැදුරේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
“පාස්කු ඉරිදා ප්‍රහාරයට 21 වැනිදාට අවුරුදු 05ක් සම්පූර්ණ වෙනවා. තවමත් අපට සතුටුදායක විට හැකි විවෘත විමර්ශනයක් හෝ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු වෙලා නෑ කියලා තමයි කාගෙත් පිළිගැනීම.
අපි කොපමණ මේ පිළිබඳ හඬ නැගුවත්, මේ පිළිබඳ කොපමණ ඉල්ලීම් ඉදිරිපත් කළත් එවැනි විමර්ශනයක් සිදු වුණෙත් නෑ, සිදු වෙයි කියලා හිතන්නට අමාරු තත්ත්වයක් තමයි අපිට උදාවෙලා තියෙන්නේ. නමුත් අපි අපේ බලාපොරොත්තුව අතහරින්නේ නෑ. ආගමික විශ්වාසය තුළ දෙවියන් වහන්සේ මේ ගැන හෙළිකරයි කියලා අපි බාලාපොරොත්තු වෙනවා. මෙදින කරන සියලු වැඩ ආධ්‍යාත්මික පසුබිමක් අනුවයි සිදු කරන්නේ. අපි දේශපාලනමය පැතිකඩක් ඒකට දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
දේවස්ථාන තුනේ මියගිය 200ට ආසන්න අයගේ නම් ඇතළෙත් මංජුසාවක් අපි රෝමයට යවන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අය රෝමයේදී ප්‍රකාශයට පත් වෙනවා විශේෂ වීරයන් හැටියට. අවුරුදු 05ක් ඉවර වුණාම තමයි කරන්න පුළුවන්. මේ අය ඉදිරියේදී රණ පරිත්‍යාගීන් ලෙස සලකන්නට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
අපිට කිසි කෙනෙකුගෙන් පළිගන්න අවශ්‍ය නෑ. නමුත් අපිට ඕන කරලා තියෙන්නේ මේ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වුණු සියලුම පුද්ගලයන් සහ බලවේග මොනවාද කියලා සොයාගන්න එක. විවිධ අවස්ථාවල විවිධ දේවල් සඳහන් වුණා. ඒ වගේම මේ විමර්ශනය කඩාකප්පල් කරන්න ඇතැම් අය කටයුතු කළා කියන එකත් මෙතනදී ප්‍රකාශිත වුණා. අපිට මේ කරුණුත් විග්රහ කරන්න ඕනෑ. මේවා කාපට් එක යට සඟවා තබන්න බැහැ. මේකට පරිපූර්ණ විමර්ශනයක් අවශ්‍යයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් එක එක කාලෙට එක එක දේවල් කියනවා. එක කාලයකදී ඇමතිවරු දෙදෙනෙක් එකතුවෙලා එක එක චෝදනා ඉදිරිපත් කළා. ඒ ඇමතිවරු දෙදෙනා මේ රජයේ ඇමතිවරු බවට පත්වෙලා තියෙනවා. එයාලා එදා කියපු දේ හරිද? මේවා කිසිවක් විසඳිලා නෑ.
ප්රශ්නය – ජාතික ජන බලවේගය අද ප්‍රතිඥාවක් දෙනවා මේ පිළිබඳ සොයා බලනවා කියලා. ඒ ගැන දැනුවත්ද?
පිළිතුර – අපි බලාපොරොත්තු වෙනවා වගකිවයුතු සෑම දේශපාලන පක්ෂයක නායකත්වයන් මේ සම්බන්ධව බැරෑරුම් ලෙස ගෙන කටයුතු කරයි කියලා. ඒ අනුව සමගි ජන බලවේගයේ අපිට යම්කිසි ලියවිල්ලක් ලබා දීලා තියෙනවා ඔවුන් යම් විදියකින් බලයට පැමිනුණොත් ඒ විදිය දේවල් කරනවා කියලා. ඒ වගම ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ඒ කණ්ඩායමෙන් වාචිකව පොරොන්දුවක් ලැබිලා තියෙනවා එහෙම කරනවා කියලා. ඒක ලිඛිතව තවම අපිට ලැබිලා නෑ. ඒක ලිඛිතව ලැබුණට පස්සේ තමයි ඒ ගැන කියන්න පුළුවන්.
අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි පොරොන්දුවට අපිට ලබා දෙනවා නම් ඒ අය බලයට ඇවිල්ලා ඒක ඉෂ්ට කරයි කියලා. නමුත් අපි එක වතාවක් අත පුච්ච ගත්තා. මම රැවටුණා. අනිත් දැන් රජයේ ඉන්න ඇමති කෙනෙක් එක මට දොස් කිව්වා. මම කතෝලික ඡන්ද ඒ පැත්තට හරවලා දුන්නා කියලා. නරක වචනත් පාවිච්චි කරමින් මට දොස් කිව්වා. නමුත් දැන් එයා රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක්. *
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්රශ්නෙවලටද මෙලෙස උන්වහන්සේ පිළිතුරු ලබා දුන්හ.
ප්රශ්නය – ඔබ මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහය දැක්වීම ගැනද?
පිළිතුර – ඔව් ඒක තමයි. ඒ කියන්නේ මට සහ අපේ කතෝලික මණ්ඩලයට වාචිතව පොරොන්දුවක් දුන්නා ගෝඨාභය මහත්මයා බලයට ආවට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විමර්ශනය කරනවා කියලා. නමුත් ඒ විමර්ශනය සිදු වුණේ නෑ.