කටුනායක ගැන බොරු එපා, ඉන්දියාවෙන් දැනුම්දීමක්: #FakeNewsAlert

#FakeNewsAlertHotLocal

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබා දුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවීමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ බාහිර පාර්ශවයන් වෙතින් අයදුම්පත් කැදවීමේදි ලැබුණු අයදුම්පත් දෙකකින් වඩාත්ම සුදුසුකම් පෙන්නුම් කළ මෙම සමාගම වෙත විදේශිකයන් වෙනුවෙන් රටට පැමිණීමේදි විසා නිකුත් කිරීම හා මාර්ගගත ක්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ කටයුතු පැවරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අදාළ සමාගම නව තාක්ෂණය භාවිතා කරන මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බැවින් මෙම කටයුතු ඔවුන් වෙත පවරන ලද බවත්, රටවල් 151 ක විසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388 ක සේවා සපයන ආයතනයක් ලෙස මොවුන් ලෝක ප්‍රකට සමාගමක් බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් වේ.

නමුත් පසුගිය දිනක ඔවුන්ගේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ යම් ගැටළුවක් ඇතිවීම ගැන සොයා බැලීමට රජය තීරණය කර ඇති නමුත් කැබිනට් අනුමැතියකින් තොරව මෙම ක්‍රියාවලිය බාරදුන් බව පවසන කරුණ අසත්‍ය කාරණයක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට විසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නැති බවත්, විසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයිමේ කටයුතු පමණක් මෙම සමාගම වෙත පවරා ඇති බවත් රජය පවසයි.

ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ද රජය කටයුතු කරමින් සිටින බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply