විදේශිකයන්ගෙන් අය කරන වීසා ගාස්තු ඉහළ නැංවීමෙන් සිදුවන අගතිය පිළිබඳ තමන් පසුගියදා පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දේශපාලන වාසිය සඳහා පැති මාරු කළ පිරිසක් සිය යෝජනාව විවේචනය කළ බව ද හෙතෙම සඳහන් කරයි.
පසුගියදා ගුවන්තොටුපළේ සිදු වූ සිදුවීම තමා එදා කී දේට ඇහුම්කන් දුන්නේ නම් මගහරවාගත හැකිව තිබූ බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
දොම්පේ දංගල්ල ධර්මරාජ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.
මෙහිදී කැපී පෙනෙන ම කරුණ වූයේ විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් පිළිබඳව විපක්ෂ නායකවරයා කිසිඳු සඳහනක් නොකිරීමයි.
රජයෙන් පරීක්ෂණයක්!
මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී
ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය
වීසා නිකුත් කිරීමේ අංශයේ කාර්මික දෝෂ නිරවුල් කිරීමෙන් පසු එහි කටයුතු නැවතත් එම සමාගමට බාරදෙන බව පැවසූ ලේකම්වරයා වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශ සමාගමට පවරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බවද සඳහන් කළේය.
සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් !
සංචාරකයින්ට වීසා නිකුත් කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළව මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ලබන සඳුදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුකිරීමට නියමිතය.
විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ මෙම මාධ්‍ය හමුවට එක්වන අතර, එහිදී මතුවී ඇති ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේදිනවල විදේශගතව සිටින අතර ඔහු අද (05) යළි දිවයිනට පැමිණීමට නියමිතය.