යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින් විට විවිධ පාර්ශවයන්ගෙන්; නොයක් ආකාරයේ බාධා එල්ල වීම් දක්නට ලැබුණි.
මේ අතර පසුගිය දින දෙකක් තුළ පොලිසිය විසින් “මුල්ලිවයික්කාල් කන්ජි” ලෙස ඉතිහාස ගතවී ඇති කැඳ දන්සල් දෙකක් උසාවි නියෝග ලබා ගනිමින් තහනම් කරන ලද්දේ උතුරු නැගෙනහිර පුරා මෙම සතියේදී එවැනි තවත් දන්සල් පැවැත්වෙමින් තිබියදී ය.
අධිකරණ නියෝග
සම්පුර් හි පැවැති කැඳ දන්සලක් තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා ගත් පොලීසිය දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ.
මැයි 12 වැනි ඉරිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා(22), කමලේස්වරන් විජිතා (40), සෙල්ව විනෝද් සුජානි(40) සහ නවරත්න රාසා හරිහර කුමාර්(43) යන සිව් දෙනා මුතුර් අධිකරණය විසින් මැයි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පවසයි.
යුද්ධයේ දී ඝාතනය ලක්වු තම සමීපතමයන් සිහි කරමින් ඔවුහු මැයි 12 වැනිදා ත්‍රිකුණාමලය සාම්පුර්, සේනයුර් පිල්ලයාර් කෝවිල ඉදිරිපිට දී මුල්ලිවයික්කාල් කැඳ ප්‍රදේශවාසී ජනතාවට බෙදා දීමට කටයුතු කර තිබුණි.
එම අවස්ථාවේ දී වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මෙන්ම ජනයා ඒකරාශි කිරීම හා ආහාර පාන ලබා දීම තහනම් කරමින් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සහිතව එම ස්ථානයට පැමිණි සාම්පුර් පොලිස් නිලධාරීන් අධිකරණ නියෝගය එම පිරිසට ලබා දීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියට අනුව, නඩු අංක A 12 211/24, පැමිණිලිකරු වන සම්පුර් පොලිස් ස්ථානය භාර නිලධාරියාගේ ඉල්ලීම අනුව මැයි 12 වැනිදා මුතූර් අධිකරණය විසින් මුල්ලිවයිකාල් අනුස්මරණ තහනම් කිරිමට හේතු ලෙස නිකුත් කළ අධිකරණ නියෝගයේ සරල අදහස පහත පරිදි වේ.
“සාම්පූර් පොලිස් බල ප්‍රදේශයට අයත් පාසල්, පන්සල් වැනි පොදු ස්ථානවල වෙල්ලමුල්ලිවයිකාල්හි දී මියගිය අය සිහිකර නීතිවිරෝධී ලෙස ජනතාව එක් රැස් කිරිම, මෝටර් රථ පෙළපාලි සහ ජනතාවගේ සෞඛ්‍යයට බාධා වන අයුරින් ජනතාවට බෝවන රෝග ඇති වන අයුරින් මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ඕනෑම බෝවන රෝගයක් ඇති වන පරිදි ජනතාවට ආහාර භාජන හෝ කැද, ඕනෑම බීමක් පිරිනැමිමේ ස්ථානයකට රැස්වී මහජන අපහසුතාවයට පත් කිරීම ජන ජීවිතයට අනතුරක් විය හැකි කිසිදු ක්‍රියාකාරකමක්;” යනුවෙන් දෙමළ භාෂාවෙන් නිකුත් කළ අධිකරණ නියෝගයේ සඳහන් වේ.
මහවිරු සංගමයේ සභාපති කන්දයියා කාන්ඩීපන්, මහවිරු සංගමයේ උප සභාපති සාන්තලිංගම් කෝපිරාසා , මුතුර් මහවිරු සංගමයේ භාණ්ඩාගාරික නවරත්න රාසා හරිහර කුමාර්, මුතුර් මහවිරු සංගමයේ ලේකම් සෙල්ව විනෝද් සුජානි, මහවිරු සංගමයේ සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන්ට අධිකරණය විසින් දින 14කට බලපැවැත්වෙන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.
එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමක් ද?
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මැයි 14 වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ යම් පිරිසක් මියගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් සැමරීම සඳහා නැගෙනහිර පළාතේ පොලිස් වසම් කිහිපයක සැමරුම් උත්සව සංවිධානය කිරීමට සුදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබු බවට යි.
එම පිරිසගේ අරමුණ 2009 වසරේ වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම බව පොලීසිය වෙත තොරතුරු වාර්තා වු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව ත්‍රීකුණාමලය සාම්පූර් පොලිස් වසමේ මෙවැනි සැමරුම් උත්සවයක් පැවැත්වෙන බවට ලැබී තිබූ තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් සාම්පූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර එම උත්සවය තහනම් කරමින් නියෝගයක් ලබා ගැනිමට කටයුතු කළ බව එහි දැක්වේ.
‘අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදා දීම නිසා නොවෙයි’
පොලිසිය විසින් යම් යම් නිශ්චිත පුද්ගලයන් සදහා මෙන්ම වෙනත් පුද්ගලයන් වෙනුවෙන් ද එම අධිකරණ නියෝගය ලබා ගෙන තිබේ.
සැමරුම් උත්සවයක් සුදානම් කර තිබු ස්ථානයකට සාම්පූර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගොස් එම පිරිසට අධිකරණ නියෝගය පෙන්වා එය දැනුම් දීමට කටයුතු කළ ද එම අධිකරණ නියෝගය ඔවුන් පිළිනොගන්නා බව පවසා එය ප්‍රතික්ෂේප කරමින් අධිකරණ නියෝගය භාර නොගෙන පසුව සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූවේ කැඳ වර්ගයක් බෙදා දිමට කටයුතු කළ නිසා බවට සමාජ මාධ්‍යජාලා තුළ පුවත් පල වන අතර, එය සිදුවීම වැරදි ලෙස වාර්තා කිරිමක් බව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
අධිකරණ නියෝගය කඩ කරන ලද සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ සැකකාරියගේ දියණිය ඇයගේ ගෙලට පිහියක් තබා ගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් පොලිස් නිලධාරින් වෙත තර්ජනය කර ඇති බව ද පොලිසිය පවසයි.
එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ පොලිස් නිලධාරින් විසින් තත්වය පාලනය කර එක් සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
මෙම සිදුවීමේදී එක් සැකකාරියක් විසින් තියුණු ආයුධයකින් සිදු කරනු ලද පහරදීමක් හේතුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ද පොලිසිය පවසයි.
චෝදනා මොනවාද?
“දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි ලෙස දැක්වෙන අධිකරණ නියෝගයකට අකීකරු වීම, අන්තරාදායක ආයුධ වලින් , ක්‍රම වලින් හෝ කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම, කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරිම , රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරු වීම හා සාපරාධී බිය ගැන්වීම යන වැරදි මත ඉහත සැකකරු සහ සැකකාරියන් සාම්පූර් පොලිස් ස්ථානයේ නිලධරයන් විසින් 2024.05.12 වන දින අත්අඩංගුවට ගත් අතර 2024.05.13 වන දින මූතූර් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මැයි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි .” යනුවෙන් එම නිවේදනයේ සඳහන් ය.
මීට අමතරව ත්‍රීකුණාමලය වරාය සහ උප්පුවේලි යන පොලිස් වසම් තුළ ත් මෙම සැමරුම් උත්සව පැවැත්වෙන බව බුද්ධි අංශ විසින් වාර්තා කර තිබූ අතර ඒ අනුව එය වැලැක්වීම සඳහා එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් අධිකරණ නියෝග ලබා ගෙන ඇති අතර එම අධිකරණ නියෝගයන්ට අවනත වෙමින් අදාළ පාර්ශයන් එම පොලිස් වසම් තුළ සැමරුම් උත්සව නොපැවැත්වීමට කටයුතු කර ඇතැයි එම නිවේදයේ සඳහන් කර ඇත.
‘වෙසක් එකට දන්සල් තියෙනවා. ඒවත් තහනම් කරන්න පොලිසිය උසාවි නියෝග ගන්නවාද?’
මානව හිමිකම් නීතීඥවරියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිකා සත්කුනනාදන් බීබීසී සිංහල සේවයට පැවසුවේ මැයි මාසයේදී දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය සියලු දෙනා, විශේෂයෙන් අවසන් අදියරේදී මියගිය සියලු දෙනා අනුස්මරණය කරන බවයි.
“මේ මාසයේ ඔවුන් යුද්ධයෙන් මියගිය සියලු දෙනා අනුස්මරණය කරනවා. ආණ්ඩුව ඔවුන්ට බාධා කරන්න හදනවා, එල්.ටී.ටී.ඊ.ය අනුස්මරණය කරන්න යනවා, ත්රස්තවාදයට පණ දෙන්න යනවා කියලා.” යැයි කන්ජි බෙදාහැරීම තහනම් කිරීමට ගත් උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියාය.
සන්නද්ධ අරගලයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිපත් කිරීම නොවැම්බර් මාසයේ මහවීර දිනයේදී සිදුවන බවත්, මැයි මාසයේදී යුද්ධයෙන් මියගිය සියලුම දෙනා සිහිපත් කරන බව නීතිඥවරිය පැවසුවාය.
කන්ජි දන්සල් තහනම් කිරීමට පොලිසිය දක්වන එක් හේතුවක් වන්නේ සනීපාරක්ෂාවයි. ඇය මේ බව ප්‍රශ්න කළේ වෙසක් දන්සල් උදාහරණය යොදා ගනිමිනි.
“මැයි දින රැලි තිබුණා, ඔවුන් කෑම බෙදා ගත්තා. දහස් ගණන් ජනතාව ද එහි රැස්ව සිටියා. ලබන සතියේ වෙසක්. වෙසක් එකට දන්සල් තියෙනවා. ඒවත් තහනම් කරන්න පොලිසිය උසාවි නියෝග ගන්නවාද?”
2009 යුද්ධයේ අවසාන දිනවල දී මුහුදුබඩ බිම් තීරුවකට කොටු වී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට පණ ගැට ගසා ගන්නට පිහිටවුයේ “මුල්ලිවයික්කාල් කන්ජි” නම් කැඳ මාත්‍රාව බව පිළිගැනෙයි.
එම ජීවන මාත්‍රාව පිසුවේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට යි.
2009 යුද්ධයේ අවසාන දිනවල දී මුහුදුබඩ බිම් තීරුවකට කොටු වී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට පණ ගැට ගසා ගන්නට පිහිටවුයේ “මුල්ලිවයික්කාල් කන්ජි” නම් කැඳ මාත්‍රාව බව පිළිගැනෙයි.එම ජීවන මාත්‍රාව පිසුවේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට යි.
‘ඔවුන් සිතන්නේ සංහිඳියාව යනු අපට සිදුවූ සියල්ල අමතක කිරීම කියලා’
නීතීඥ අම්බිකා සත්කුනනාදන් අවධාරණය කරන්නේ යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් මියගිය අය සිහිපත් කිරීමේ අයිතිය කඩ කිරීම රටේ සංහිඳියාවට බාධාවක් බවයි. සංහිඳියාව යනුවෙන් රජය සිතන්නේ කුමක්දැයි ඇය පැහැදිලි කළාය.
“ඔවුන් සිතන්නේ සංහිඳියාවෙන් යුක්තිය ඉටුවන බවයි. සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට අයිතියක් නැහැ. මේ වගේ සමරු පවත්වන්න අයිතියක් නැහැ. ඔවුන් සිතන්නේ සංහිඳියාව යනු අපට සිදුවූ සියල්ල අමතක කිරීම සහ යුද්ධය සහ එහි ප්‍රතිඵල ගැන රජය ඉදිරිපත් කරන අනුවාදයට අපි අභියෝග නොකර සිටීම කියලා. සංහිඳියාව කියලා ඔවුන් සිතන්නේ එයයි.”
රට තුළ සංහිඳියාව ඇති කිරීමට නම් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සත්‍යය දැන ගැනීමටත්, යුක්තිය ඉටු වීමටත්, අනුස්මරණය කිරීමේ අයිතිය තිබිය යුතු බව මෙන්ම සිදු වූ අහිමි වීම් සඳහා වන්දි ලබා ගැනීමට අයිතිවාසිකම් තිබිය යුතු බව ද ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
‘සිහිකිරිමේ අයිතිය’ ගැන මානව හිමිකම් පැමිණිල්ලක්
මේ අතර මෙම සිදුවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කරන තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය සිහිපත් කර දෙන්නේ අධිකරණ නියෝග ලබා ගනිමින් පොලිසිය මෙම සිහි කිරිම්වලට බාධා කරමින් සිටින්නේ 2016 දී “සිහිකිරිමේ අයිතිය” තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබිය දී බවයි.
එමෙන්ම ඔවුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
යුද්ධයක් පැවති රටක පොලිසිය මිලේච්ඡ ලෙස කටයුතු කිරිමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිඳියාව හා සත්‍ය සෙවීම පමණක් නොව වින්දිතයන්ගේ සමාන්‍ය අයිතිවාසිකම්වලට රාජ්‍ය ගරු නොකරන බව යැයි තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සිය පැමිණිල්ල මගින් කියා ඇත.
තවත් තහනම් නියෝගයක්.
මේ අතර මැයි 14 වැනි අඟහරුවාදා පෙරවරුවේ කල්මුනේ පාන්ඩිරිප්පු අරසඩි අම්මාන් කෝවිල අසල කැඳ දන්සලක් පැවැත්වීමට දැරු උත්සාහයක් අධිකරණ නියෝග ලබා ගනිමින් නතර කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
පෙරියනිලාවනෙයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව නියෝගය නිකුත් කරමින් කල්මුණේ මහේස්ත්‍රාත් එස්.එම්. එස්. එම් සම්සුදීන් නිකුත් කළ නියෝගයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් සිහිපත් කිරීමේ අරමුණින් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කිරීම ත්‍රස්තවාදය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාවක් වන බැවින් මෙම තහනම් නියෝගය නිකුත් කරන බවයි.
මැයි 14 වැනිදා සිට මැයි 17 වැනිදා දක්වා බලපැවැත්වෙන අධිකරණ තහනම දෙමළ ජාතික ජනතා පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාජ් තුෂානන්දන්ගේ නමට නිකුත් කර ඇත.
‘මුල්ලිවයික්කාල් කන්ජි’ යනු කුමක්ද ?
2009 යුද්ධයේ අවසාන දිනවල දී මුහුදුබඩ බිම් තීරුවකට කොටු වී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට පණ ගැට ගසා ගන්නට පිහිටවුයේ “මුල්ලිවයික්කාල් කන්ජි” නම් කැඳ මාත්‍රාව බව පිළිගැනෙයි.
එම ජීවන මාත්‍රාව පිසුවේ වතුරත්, සහල් මිටකුත්, සොයා ගත හැකි වුවොත් ලුණු බිඳකුත් එක්කොට යි.
සෑම වසරකම මැයි 12 සිට 18 දක්වා දොරින් දොර ගොස් රැස් කරගත් සහලින් පිසූ කන්ජි දන්සල් උතුරු නැගෙනහිර පුරා පවත්වනු ලබති.
ස්වකීය ආදරණීයයන් සිහිපත් කරමින් මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් හී පවත්වනු ලබන අනුස්මරණ රැළියකින් මෙම අනුස්මරණ සතිය නිමාවේ.