A helicopter carrying Iran's President Ebrahim Raisi takes off, near the Iran-Azerbaijan border, May 19, 2024. The helicopter with Raisi on board later crashed. Ali Hamed Haghdoust/IRNA/WANA (West Asia News Agency) via REUTERS

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බවට ඉරාන බලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇති බව සඳහන්.

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය මීට පෙර නිවේදනය කළා.

මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා ද මීට පෙර ප්‍රකාශ කළේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවටයි.

“ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබුණා.

ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවද සඳහන්.

ඉරානයේ වයඹ දෙසින් පිහිටි අසර්බයිජාන් දේශ සීමාවට ගොස් ආපසු පැමිණෙන අතරමගදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය දැඩි මීදුමක් සහිත කඳුකර ප්‍රදේශයක් හරහා පියාසර කරමින් සිටියදී ඊයේ (19) කඩා වැටී තිබුණා.

අනතුර සිදුවු ස්ථානයට ළඟා වීමට ගලවාගැනීම්කරුවන් වෙහෙසෙමින් සිටි අතර පැවති කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මුදාගැනීමේ මෙහෙයුම් දුෂ්කර වු බවයි ඉරාන බලධාරින් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවටද ඉරාන මාධ්‍ය මුළදී පරස්පර වාර්තා පළ කළා.

Leave a Reply