05වැනි ලංකා ප්රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක වෙන්දේසිය කොළඹදී හෙට (21දා) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් මීට ඉහතදී දන්වා සිටියේ, ක්රීඩකයින් 420ක් මේ සඳහා ඉදිරිපත් කරන බවයි.
ඉන් 154 දෙනෙකු දේශීය ක්රීඩකයින් වන අතර, සෙසු 266 දෙනා විදෙස් ක්රීඩකයින්ය.
කෙසේ වෙතත් මේ සඳහා විදෙස් ක්රීඩකයින් 600කට අධික පිරිසක් ලියාපදිංචි වී සිට ඇත.
ක්රීඩක වෙන්දේසිය හෙට පස්වරු 12.00 සිට ප්රකට වෙන්දේසිකරුවකු වන චාරු ශර්මාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙය වට 18කින් ක්රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
මේ අතර පසුගිය වසරේදී ඒ ඒ කණ්ඩායමේ සිටි ක්රීඩකයින් 06 දෙනෙකු සමග වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වීමට මෙවර කණ්ඩායම් හිමිකාරීත්වයට අවසර ලබා දී තිබේ.
ඒ අනුව වෙන්දේසියට පෙර අත්සන් කළ හා රඳවා ගත් ක්රීඩකයින්ගේ ලැයිස්තුව ශ්රී ලංකා ක්රිකට් අද (20දා) නිවේනය කළා.
ඒ අනුව කොළඹ කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සධීර සමරවික්රම, නිපුන් ධනංජය, ෂදාබ් ඛාන් හා ග්ලෙන් ෆිලිප්ස් නම්කර ඇත.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් එම අවස්ථාව හිමිව ඇත්තේ ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්රවීන් ජයවික්රම, මුස්තෆිසුර් රහ්මාන් හා ඊබ්රහිම් සද්රාන් යන ක්රීඩකයින්ටය.
ගාල්ල කණ්ඩායමේ රඳවාගත් හා වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ ක්රීඩකයින් වන්නේ භානුක රාජපක්ෂ, ලසිත් කෲස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහේෂ් තීක්ෂණ, ටිම් සීෆර්ට් හා ඇලෙක්ස් හේල්ස්ය.
එමෙන්ම යාපනය කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්රනාන්දු, චරිත් අසලංක, විජයකාන්ත් වියස්කාන්ත්, අස්මතුල්ලා ඔමර්සායි හා නූර් අහමඩ් යන අය සිටියි.
අවසන් වශයෙන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ හා රඳවාගත් අය වන්නේ වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස්, අන්ඩ්රෙ ෆ්ලෙචර් හා කයිල් මේයර්ස්ය.
මෙවර වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 05ක හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 15ක් පමණ මුදලක් වියදම් කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.
එල්.පී.එල්. තරගාවලියේ මුල් අදියරේ තරග කිහිපයක් පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත.
එහි රාත්රී තරග අවසන් වීමෙන් පසුව නිසි ප්රවාහන පහසුකම් නොමැති වීමෙන් නරඹන්නන් මුහුණදෙන ගැටලූ අවම කිරීම උදෙසා, නරඹන්නන් වෙනුවෙන් අමතර බස්රථ 10ක් පමණ මහනුවර දක්වා එක් කිරීමටත් කටයුතු සූදානම් කර ඇත.