කතාවට කියන්නේ ඉන්දියාව රූමතියන්ගේ නිෂ්පාදනාගාරයක් බවය. ලෝක රූ රැජන තරගවලින් ඉන්දීය තරුණියන් දිනා ඇති ඔටුනු ගණන ද දුසිමකට වැඩිය. හැටේ දශකයේදී රීටා ෆාරියා ‘මිස් වර්ල්ඩ්‘ කිරුළට හිමිකම් කීමෙන් පසු සීනත් අමාන්, ටාරා ෆොන්සේකා, සුෂ්මිතා සෙන්, අයිෂ්වර්යා රායි, ඩයනා හේඩ්න්, යුක්තා මුකී, ලාරා දත්තා, ප්‍රියංකා චොප්රා, ඩියා මිර්සා, මනුෂි චිලර් සහ හර්නාස් සන්දු දක්වා ලෝක රූ රැජනන් බිහි වූව ද, ඉන්දීය ජනතාව අතර උන්මාදයක් ඇති කරලීමට ඉන්දියාවේ පිරිමින් අතර ‘ක්‍රෂ්‘ චරිතයක් වීමට ඒ කිසිදු රැජනකට බැරි විය.

කලක් ඉන්දීය ජනතාව දකුණු ඉන්දීය සිනමාවෙන් බිහි වූ ශ්‍රීදේවිට වහ වැටී සිටියහ. ජුහී චව්ලා, දිව්‍ය භාරති, මධුරී ඩික්සිත්, ප්‍රීටි සින්ටා, දීපිකා පදුකෝන් වැනි සුරූපි බොලිවුඩ් නිළියෝ ද ඒ අතර වෙති. නිළියන්ට අමතරව තවත් තරුණියන් රැසක් ද වරින් වරට ඉන්දියාවේ පිරිමින් අතර ‘ක්‍රෂ්‘ චරිත බවට පත්වී සිටි අතර, මෑත කාලයේ එවැනි ආකර්ෂණයක් ඉන්දීය පිරිමින් අතර ඇති කළ ‘ක්‍රෂ්‘ චරිත කිහිපයක් එරට මාධ්‍ය ලැයිස්තුගත කර තිබිණි.

ඒ අතුරින් මුල් තැනට පත්ව සිටියේ ට්‍රිපති දිමිත්‍රි ය. 30 හැවිරිදි මේ සරාගී නිළිය ආසියානු ‘ෆෝබ්ස්‘සඟරාවට අනුව 2021දී ඉන්දියාවේ පිරිමින් වසඟයට ගත් අවුරුදු 30ට අඩු තරුණියන් අතර වැඩිම ජනප්‍රියත්වයක් ද හිමි කරගත් නිළිය ද වේ. දකුණු ඉන්දීය සිනමාවේ යොවුන් තාරුකාව රෂ්මි මන්දානා, මේධා ෂංකර්, මෝස්තර නිරූපණ ශිල්පිනිය ඩිෂා පටානි, දකුණු ඉන්දීය සිනමාවේ තමන්නා භාතියා, ප්‍රියා ප්‍රකාශ් මෑත කාලයේ ඉන්දීය පිරිමින්ගේ ‘ක්‍රෂ්‘ චරිත බවට පත්වූහ. හිටිහැටියේම ඉන්දීය පිරිමින් අතර වැඩි කතාබහට ලක්වූ තරුණියක් ද ඉදිරියට මෑත කාලයේ ක්‍රීඩා පිටියෙන් බිහි වූ ‘ක්‍රෂ්‘ චරිතයට බවට පත් වූයේ සචින් තෙන්ඩුල්කර්ගේ දියණිය සාරා ය. පසුගිය වසරේ ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර වැඩි අවධානයක් දිනා ගත් සාරා අනතුරුව සුපිරි ක්‍රිකට් තරුව ෂුබ්මාන් ගිල් සමඟ පෙම් පලහිලව්වක් ඇතිකරගත් බවට කසුකුසුවක් පැතිරී යෑමත් සමඟ ඉන්දීය පිරිමින්ගේ ආකර්ෂණයෙන් ඇය මැකී ගියාය.

කාව්‍යා කලානිති මාරන් මතු වූයේ ඉන් පසුවය. මෙවරට අයිපීඑල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ සම හිමිකාරිනිය වන මේ 30 හැවිරිදි අවිවාහක තරුණිය එතරම් රූමත් නොවූව ද, ඉන්දියාවේ පිරිමින් අතර ආකර්ෂණයට ලක්වීමට තරම් අපූරු ගතිලක්ෂණ ඇයට තිබිණි. ඒවා වැඩිපුරම ප්‍රදර්ශනය වූයේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ක්‍රීඩා කළ අයිපීඑල් තරගවලදීය. දකුණු ඉන්දියාවේ ‘සන්‘ සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන එරට නොම්මර එකේ මාධ්‍ය බලවතාගේ දියණිය වන කාව්‍යා දැන් හඳුන්වනු ලබන්නේ ‘ඉන්දියාවේ ජාතික ක්‍රෂ් එක‘ නමිනි.

යම්කිසි රටක පිරිමි සමාජයම වසඟයට ගැනීමට තරම් අපූරු රූප ලක්ෂණ, ගති ලක්ෂණ පිහිටන්නේ එහෙමත් තරුණියකටය. කාව්‍යා මාරන් ඉන්දීය පිරිමින්ගේ ඇල්මට බැල්මට ලක් වූ එවැනි චරිතයක් බවට පත්වූ විශේෂිත කරුණක් නොතිබුණ ද කවුරුත් කියන්නේ එය සිදුවන්නට ඇත්තේ ඉබේටම බවය. මෑත ඉතිහාසයේ ලොව පුරා යොවුන් පරපුර අතර වැඩිපුර භාවිත වන ‘ක්‍රෂ්‘ ඉංග්‍රිසි වදන අරුත් ගැන්වෙන්නේ යමකුට, විශේෂයෙන් ළඟා විය නොහැකි හෝ අත්පත් කරගත නොහැකි එහෙත් දැඩි ඇල්මක් සහිත වස්තුවකටය. ‘ක්‍රෂ්‘ වන්නේ එවැනි චරිත ය. දැන් ඉන්දියාවේ පිරිමින් අතර සිදුවී ඇත්තේ ද ඒ ටිකමය. එය නන්දා මාලනියගේ ‘නෙළාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන… නෙළා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන… ගීතයට හැම අතින්ම සමාන වූ කතාවකි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ මෑත කාලයේ අන්තර්ජාලයෙන් වැඩිම විපරම් කිරීමක් සිදුවී ඇත්තේ ද ඇය ගැන බවය. 1992 අගෝස්තුවේ 6 වැනිදා චෙන්නායි නුවර උපන් මේ දකුණු ඉන්දීය තරුණිය ක්‍රිකට් පිටියට පා තැබුවේ 2018 වසරේදීය. රූ රැජනක තරම් රූමත් නොවන, නිළියක තරම් සරාගී නොවන කාව්‍යා මාරන් ඉන්දියාව වැනි රූමතියන්ගේ අඩුවක් නැති රටක ජාතික ‘ක්‍රෂ්‘ චරිතයක් බවට පත්වීම එක අතකින් පුදුමාකාරය. අනිත් අතට ඇය සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ තරගවලට පැමිණ සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් දිරිගන්වන ආකාරය දුටුවේ නම් එහි ඇති පුදුමයක්ද නැතැයි කෙනකුට සිතෙනු ඇත.

සන්රයිසස් කණ්ඩායමේ නිල ක්‍රීඩා ජර්සියෙන් සැරසී ක්‍රීඩාංගණයේ ප්‍රධාන මණ්ඩපයේ අසුන්ගෙන සිටිය ද ඇය වැඩි හරියක් සිටින්නේ සිටගෙනය. පිටියේදී සන්රයිසස් පිලේ පිතිකරුවකුගේ හයේ පහරකදී, දැවී යෑමකදී හෝ පන්දු යවන්නකු කඩුල්ලක් දවා ගැනීමේදී මෙන්ම පන්දු රකින්නකු උඩපන්දුවක් ඩැහැ ගැනීමේදී හෝ එය ගිලිහී යෑමේදි තරගය ඉලක්ක කරගත් කැමරාවක් ඇය වෙත හැරෙන්නේ නිතැතින්මය. ඒ අන් කිසිවකට හෝ නොව එවැනි සිදුවීම්වලදී ඇය වෙතින් ඉබේටම ප්‍රදර්ශනය වන ඉරියව් ග්‍රහණය කර ගැනීමටය. ඒවා අන්තිමට නතර වූයේ ඇය ඉන්දියාවේ ජාතික ක්‍රෂ් චරිතය බවට පත් කරමිනි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ කාව්‍යා මාරන්ගේ ජනප්‍රියත්වය ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවන බවය. ලොව පුරා ක්‍රිකට්ලෝලීන් අතර ජනප්‍රියතම ක්‍රිකට් මුහුණුවර වන ‘ෆ්‍රැන්චයිස්‘ ක්‍රිකට් දකුණු අප්‍රිකාවට සේන්දු වූ 2022 වසරේදී ‘සන්‘ සමාගම ද සිය අයිපීඑල් කණ්ඩායම ‘සන්රයිසස් ඊස්ටර්න් කේප්‘ නමින් කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර, එම කණ්ඩායම තරග කරද්දී දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගණ පුරා ඇගේ සුපුරුදු ‘නැටිල්ල‘ පැතිරී ගියා. එම වසරේ පමණක් නොව ඊළඟ වසරේදිත් දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගනු ලැබුවේ ද සන්රයිසස්‘ කණ්ඩායම විසිනි. කාව්‍යා මාරන් කිසිදු සීමාවකින් තොරව ඔල්වරසන් දුන්නේ හිතේ හැටියටය. ඉන් නොනැවතී ඇය සිය කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් ක්‍රීඩකයන් කිසිදු චකිතයකින් තොරව සිප වැලඳ ගත්තාය. කවුරුත් බැලුවේ කුඩා දැරියක මෙන් ක්‍රීඩා මණ්ඩපයේ උඩ පැන පැන නටන මේ දඟකාර තරුණිය ගැනය. ඇය නිතැතින්ම ඉන්දියාවේ ජාතික ‘ක්‍රෂ්‘ චරිතය බවට පත්වීමට ඒවා ද අඩු වැඩිය සපයා තිබිණි.

වැඩිපුරම කතාබහට ලක් වූයේ 2022 දකුණු අප්‍රිකානු ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් මොහොතේ ඇය සිය කණ්ඩායමේ නායක දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒඩ්න් මාක්‍රම් සිප වැලඳ ගැනීමය. එය සිදුවූයේ ඉබේටමය. එහෙත් මේ නිමේෂයක අසිරිමත් දසුන කැමරා කාච රැසක සටහන් වූයේ ඇය ගැන විපරම් කිරීමට ලක්ෂ සංඛ්‍යාත පිරිමින් පොලඹවා දමමිනි. එය අතිශය දුරදිග ගිය සිදුවීමකි. කාව්‍යා මාරන් මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ පවුල් ජීවිතය අවුල් කළ බව ඇතැමුන් කියන්නට පවා පෙලඹවූ කාරණාවකි. එහෙත් මාක්‍රම්ගේ තරුණ බිරිය නිකෝලා ඩැනියෙල් එය ගණනකට ගත්තේම නැත. අදටත් කාව්‍යා හා නිකෝලා සමීපතම මිතුරියෝ ද වෙති. තවත් සමහරු කියන්නට වූයේ ඇය මාක් මැන්සන්ගේ ලෝක ප්‍රකට ‘The Subtle Art of Not Giving a F*ck‘ කෘතිය හොඳින් හදාරන්නට ඇති බවය. එය යහන්ගත වීමට කැමැති බව පෙන්වා නොපෙන්වා පිරිමින් වසඟයට ගන්නා හැටි ගැන ලියා ඇති පොතකි. ඔබ අප දන්නා ‘64 මායම්‘ වලට වඩා ඔබ්බට ගිය පොතකි. 2016දී එය ප්‍රකාශයට පත්වීමෙන් පසු අමෙරිකාවේ වැඩිපුරම කතාබහට ලක්වූ ආකාරයේ පොතකි. අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවංකා ගැනත් එවකට එවැනි කතාවක් පැතිරී ගොස් තිබිණි. 2017දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට පැමිණ සිටි එවකට 70 හැවිරිදි වියෙහි පසු වූ බිල් ක්ලින්ටන් නව ජනපතිගේ සුරූපි දියණිය ඉවංකා දෙස හැරි හැරී බැලුවේ ද, ඇය මේ මහලු හිටපු ජනපතිගේ හදගැස්ම වැඩි කර දැමුවේ ද මාක් මැන්සන්ගේ පොතටම හරියන ‘වැඩ කෑලි‘ දැමූ නිසා බවය.

එහෙත් මේ දකුණු ඉන්දීය තරුණිය ගැන නම් කතාව ඊට වෙනස්ය. ඇය ගැන හොඳින්ම දන්නා අය නම් කියන්නේ ඉන්දීය රුපියල් කෝටි 400කට වඩා වත්කම් ඇති ධනවන්තියක වූව ද කාව්‍යාගේ නිරහංකාර හා චාම් ගති පැවතුම් නිසා ඒවා ඉබේටම සිදුවන බවය.

සාමාන්‍යයෙන් රූමත් හෝ ආකර්ෂණීය තරුණියන්ට පිරිමින් අතර ‘ක්‍රෂ්‘ වීමට තවත් හේතු රැසක් බලපාන අතර, ලොකුම හේතුව විවාහ වී නොසිටීමය. වයස ප්‍රශ්නයක් ද නැත. අවිවාහකත්වය ‘ක්‍රෂ්‘ වීමට උඩගෙඩි දෙන්නේ නිතැතින්මය. කාව්‍යා ද තවමත් අවිවාහකය. දඟකාර, කෙළිලොල් මේ පියකරු යුවතිය 32 හැවිරිදි වියෙහි පසුවූව ද, පෙනෙන හැටියට ඒවා ද පිරිමින්ගේ සිත් දිනා ගැනීමට බාධාවක් නොවන බව ඕනෑම කෙනකුට සිතෙනු ඇත. අනිත් අතට ඉන්දියාවේ මාධ්‍ය බලවතකු වන ‘සන්‘ සමූහ ව්‍යාපාරයේ කලානිති මාරන්ගේ එකම දියණිය ලෙස ඉහළම මට්ටමේ ධනවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇති මේ තරුණිය කිසිදු සීමාවකින් තොරව ප්‍රසිද්ධියේ නිදහස භුක්ති විඳින ආකාරය පුදුමසහගතය.

මුලදී කාව්‍යාට ද බ්‍රිතාන්‍ය රජ පවුලට මෙන් පැපරාසි ඡායාරූප ශිල්පින් සහ මාධ්‍යවේදින් නයාට අඳුකොළ ගාණට වැටී තිබිණි. මුල් කාලයේ සිය කණ්ඩායම දිරිගැන්වීමට අයිපීඑල් පිටියට ගිය විට කැමරා කාච ඇය වෙත එල්ල වීම ගැන දැඩි ලෙස උරණ වී සිටියාය. එහෙත් කල්යත්ම ඒවා තමා වැනි ධනවත් තරුණියන්ට මුහුණ දීමට සිදුවන සාමාන්‍ය දේවල් බව අවබෝධ කරගත්තාට පසු ඕනෑම අයකුට හිතේ හැටියට සිය ඡායාරූප ගැනීමටත්, වීඩියෝගත කිරීමටත් ඉඩ දී සුපුරුදු දඟකාර හැසිරීම් රටාවම පෙන්නුම් කරන්නට වූවාය.

සැබැවින්ම කාව්‍යා මාරන් යනු එසේ මෙසේ පොහොසත් තරුණියක නොව මුළු තමිල්නාඩුවම මුදලට ගත හැකි ආකාරයේ වත්කමක් ඇති ‘සන්‘ සමූහ ව්‍යාපාරයේ අනාගත උරුමක්කාරියයි. මේ සමාගමට රූපවාහිනි ආධිපත්‍යය හැරුණු විට එෆ්. එම්. ගුවන්විදුලි තරංග 48කි. දිනපතා ජාතික පුවත්පත් දෙකකි. වාර සඟරා පහකි. තවත් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විකාශය වන රූපවාහිනි නාළිකා රාශියකි. ඇගේ ජීවන රටාව ද අතිශය සුඛෝපභෝගී එකකි. අයිපීඑල් පිටියේ සැහැල්ලුවෙන් උඩපැන නැටුව ද චෙන්නායි ස්ටෙලා මාරිස් විදුහලෙන් වාණිජ උපාධිය ලැබූ ඇය එංගලන්තයේ වර්වික් ව්‍යාපාර කළමනාකරණ පශ්චාද් උපාධියකට ද හිමිකම් කියන බුද්ධිමත් තරුණියකි. ගමන් බිමන් සඳහා භාවිත කරන්නේ ඉන්දීය රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුතු ෆෙරාරි වර්ගයේ සුපිරි මෝටර් රථයකි. නවීන පන්නයේ බීඑම්ඩබ්ලිව් ඇතුළු තවත් සුඛෝපභෝගී මෝටර් රථ රැසකටත් හිමිකම් කියන තරුණියකි. ඉන්දියාවේ ජාතික ‘ක්‍රෂ්‘ එක බවට පත්වී ඇත්තේ එවැනි පසුබිමක් සහිත චරිතයකි.

[ෆවුස් මොහොමඩ් | සිළුමිණ]

Leave a Reply