fbpx
There are two major weaknesses in the President's plan

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළෙහි ප්‍රධාන අඩුපාඩු දෙකක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එමෙන්ම නව තාක්ෂණික යුග සම්බන්ධයෙන් දේශපාලන වේදිකා සහ රූපවාහිනී විවාදවල අදහස් දක්වන විපක්ෂයේ නායකයන් Debt sustainability analysis පිළිගන්නවා ද නැද්ද යන්න සහ පිළිගන්නේ නැත්නම් එහි වෙනස් කරන්නේ කුමන කරුණු ද යන්න විවෘතව සහ පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව ද රණවක පෙන්වා දෙයි.

තාක්ෂණ නගරය ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී රතු කොඩි වනමින් පෙළපාලි ගිය පිරිස අද නවෝත්පාදන ගැන සම්මන්ත්‍රණ තැබීම තරම් විහිළුවක් තවත් නැති බව ද, පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක

” මේ රටේ මේ ණය අර්බුදය හා මූල්‍ය අර්බුදය දරාගත හැකි සීයට දහයක පවුල් ප්‍රමාණයට බර දාලා නෑ. සීයට අනූවකට තමයි බර දාලා තියෙන්නේ. ඒකෙන් ඒ මිනිස්සුන්ගේ කොන්ද කැඩෙන්න කිට්ටු වෙලා තියෙනවා. බිඳ වැටෙමින් තියෙනවා ආර්ථිකය සීඝ්‍රයෙන් එක පැත්තක. අනිත් පැත්තෙන් මේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා උපාය මාර්ගයක් නෑ. ඒක තමයි එතන අපට තියෙන මූලික කාරණය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අපි විවේචනය කරන්න යන්නේ නෑ. හැබැයි අපි එකක් කියන්න ඕනේ. 2015 ව්‍යවස්ථා සංශෝධනය කරද්දී මේ ව්‍යවස්ථා කෙටුම්පත අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මෙන්න මේ මෙන්න මේ වගන්ති තුනෙන් දෙකෙන් අනුමත කරන්න පුළුවන් මෙන්න මේ මෙන්න මේ වගන්ති තුනෙන් දෙක හා ජනමත විචාරණයට යටත් කියලා. ඉතින් ඒ අනුව ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ව්‍යවස්ථා කෙටුම්පතක් තමයි පසුව ව්‍යවස්ථාව බවට පත්වෙන්නේ. එතකොට ව්‍යවස්ථාව බවට ඒක පත්වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගිය ක්‍රියාමාර්ගයක් ශ්‍රේෂ්ඨාධිකරණයටම ආයි බෑ විමසන්න. ඒක ඒක විමසන්න විමසලා තියෙන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති තැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින්. දැන් මේකම අර පනත වෙලාවේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද ඒ සංශෝධන ඒ විදිහට නොවන ඒ ඇමතිවරයත්, ආණ්ඩුවත් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. හැබැයි ඒ සම්මත කරගත්ත එම පනත අභියෝගයට ලක්කලාම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක දැන් පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකට ඇඟිලි ගහන්න බෑ කියලා. ඉතින් ඒ නිසා 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ගිය ක්‍රියාමාර්ගයක් දැන් අවුරුදු නමයකට පස්සේ ආයේ ප්‍රශ්න කිරීම කොච්චර නීතිගරුක යුක්ති සහගතද කියන ගැටලුව එනවා.

දෙවෙනි කාරණේ 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගේ කාලේ මේ ප්‍රශ්නය මේ විදිහටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවා. සිරිසේන මහත්තයට 2015 ජනවාරි 9 වෙනිදා හය අවුරුද්දකටයි ජනවරම ලැබුණේ. හය අවුරුද්දක් යනවා කියලා තමයි එයාට ඡන්දේ දුන්නේ. හැබැයි ගෝඨා රාජපක්ෂට 2019 ඡන්දේ දුන්නේ පස් අවුරුද්දක් යනවා කියලා හිතාගෙන. ලොකු වෙනසක් තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේනට හය අවුරුද්දකට ජනවරම දුන්නට පස්සේ එතුමට ඒක එතුමා මැදිහත් වෙලා පහ කර ගත්තට උසාවියෙන් කිව්වා ඒක පහම තමයි කියලා. හැබැයි දැන් පහට දීපු කෙනාට හය කරන්න බෑ ආයේ. මොකද පහ කියලා දැනගෙනම තමයි ඡන්දේ දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නෑ උසාවියෙන් මේකට ඉඩකඩක් ලැබෙයි කියලා.

අද ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයෙන් කියලා තියෙනවා. මේ ජනාධිපතිතුමාගේ කැමැත්ත නෙමෙයි මේක කියලා. 2024 ජනාධිපතිවරණය තැබීම තමයි එතුමාගේ කැමැත්ත කියලා. එහෙනම් ඉතින් වටේ ඉන්න අය මේ එක එක අවස්ථා වලදී  දේශපාලන මැඩවිල්ලක් කරන්නේ. මේ දේශපාලන තත්වය තව තවත් අවුල් සහගත කිරීමක් කරන්න. ඒකෙන් වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට ම තමයි ඒකෙන් වදින්නේ.”

“2017 මැයි පළවෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටෙව්වට පස්සේ පිටියේදී මහින්ද රාජපක්ෂ රටට පොරොන්දු වුණා හම්බන්තොට වරාය නැවත ආපහු ගන්නවා කියලා. ඒ වගේම තෙල් ටැංකි ටික නැව අපි අපේ පාලනයට ගන්නවා කියලා. හැබැයි ඇවිල්ලා හම්බන්තොට වරායත් ඒ එකට දිගටම කරගෙන යන්න ඉඩ දුන්නා විතරක් නෙවෙයි. 2011 ඉඳන් මහින්ද රාජපක්ෂයි, ජයසුන්දරයි දෙන්නා ඔය හම්බන්තොට වරායයි, පුත්තලම බලාගාරෙයි, විදේශිකයන්ට දෙන්න ගියේ. ඒකට ඔබ්බට ගිහිල්ලා ඒගොල්ලෝ වෙස්ට් කෝස්ට් බලාගාරය, රටේ පුද්ගලික විදුලිබල මණ්ඩලයට අයිති සමාගමක් සහිතව සතුව තිබිච්ච වෙස්ට්කෝස් බලාගාරය විකුණන්න ගියා. ඔය ඔක්කොම ජාතිමාමකයෝ දේශප්‍රේමියෝ අත ඉස්සුවා ඒකට. ඒ විතරක් නෙවෙයි, තෙල් ටැංකි ටික ලබාදුන්නා. ඒ නිසා, ඔය වේදිකාවල, මරහඬ, මහජනයා රවට්ටන්න කරනවා නම් අපි අහනවා. ඔය DSA එකේ මොනවද ඕගොල්ලෝ වෙනස් කරන්න යන්නේ? දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර පිළිබඳව දැන් තියෙන ඒ ඉලක්කම ඕගොල්ලෝ වෙනස් කරනවද? විදේශීය ණය ආපසු ගෙවීමට තියෙන ඉලක්කම වෙනස් කරනවද? එහෙම නැත්නම් දල මූල්‍යමය අවශ්‍යතාව, එකට දීලා තියෙන 13% ඉලක්කයම ඕගොල්ලෝ වෙනස් කරනවාද? මොනවද ඕගොල්ලෝ කරන්න යන වෙනස්කම් කියලා ජාතියට විවෘතව කියන්න ඕනේ. සමහර අය වෘත්තීය මට්ටමේ පිරිස් ඇවිල්ලා තමන්ගේ වෘත්තීය මට්ටම උකස් කරලා ජනතාවට නිකන් පොරොන්දු දීලා අපි දැක්කා ඕවා වියත්මගෙත් දැකලා හොයා ගන්නත් නෑ දැන් ඒ වියත්තු. කොහේ ගියාද කියලා. නව තාක්ෂණික යුග ගැන කතා කළා. නව ආර්ථික වර්ධනයක් ගැන කතා කළා. අපිට මතකයි 7% ආර්ථික වර්ධන ගේනවා කියලා තමයි ආවේ. ඒ නිසා මේ අයගෙන් අපි අහනවා. විපක්ෂයේ අයගෙන් අපි විරුද්ධ නෑ ඒ ඒක වෙනස් කරනවාට. හැබැයි මොනවද කරන්නේ කියලා විවෘතව කියන්න. නිකන් ගිහිල්ලා වේදිකා වල, රූපවාහිනී නාලිකාවල අඩබෙර ගහන්නේ නැතුව, තමන් මේ DSA එක පිළිගන්නවද, නැද්ද? පිළිගන්නැත්තම් මොනවද වෙනස් කරන්නේ කියලා කරුණාකරලා රටට කියන්න. ඒ නිසා රට රවට්ටන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ පිළිබඳව විධිමත් සංවාදයක් රටට අවශ්‍යයි, එහෙම නැත්නම් රට 2019 දි අහුවුණා වගේ තවත් ජනමාධ්‍ය විසින් මුදාහරින, කූට නාටකයකට රට අසුවීම තමයි වෙන්නේ. ඒ අනතුරු ඇඟවීම අපි කරනවා.”

“අද ඔය තැන් තැන් වල ඇතැම් අය නවෝත්පාදන ආර්ථිකය ගැන කිව්වට මේ නවෝත්පාදන වැඩපිළිවෙල විධිමත් ආයෝජන සැලැස්මක් ඇතුව අපි ඉදිරිපත් කළේ 2013 දී. පිටරටින් අපි කාවවත් ගෙන්න ගත්තේ නෑ. මේ රටේ විද්‍යාඥයො 3000 ක් එකතු කරලා ඒ 3000 එක්කම සාකච්ඡා කරලා තාක්ෂණ ක්ෂේත්‍ර 10 ක් තියෙන එකක් නස්ටෙක් ආයතනයේ මූලිකත්වයෙන් අපි ඉදිරිපත් කළා. ඒ වගේම අපි ඒක ක්‍රියාත්මක කළා. ඒක තමයි හෝමාගම තාක්ෂණ නගරය. එතකොට ඒ හෝමාගම ජනතාව බේරගන්න ඕනෙයි කියලා රතු කොඩි වන වන පෙලපාලි ගිය අය දැන් නවෝත්පාදනය ගැන සම්මන්ත්‍රණ තැබීම තරම් විහිළුවක් මේ ලංකාවේ නෑ. ඒ වගේම එම නගරය වසා දමලා වැලිකඩ හිරගෙදර එතනට ගෙනියපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඇත්තටම ඒ සාපය සදහටම වදිනවා. මොකද මේ රට ගලවගන්න තිබිච්ච මගක් තමයි ඔවුන් එදා ඇහැව්වේ. ඉතින් ඒක නිසා අපි කියන්න ඕනේ, වර්ධනය පිළිබඳ උපාය මාර්ගයක් නෑ. ඒ වගේම මේ විපක්ෂයේ ජනකාන්ත මත පිළිබඳව අපි අනතුරු අඟවනවා. අපි දැකලා තියෙනවා රූපවාහිනී නාලිකා වලට ගිහිල්ලා කරන විවාද, ප්‍රසිද්ධ රැස්වීම් වල කරන ප්‍රකාශ, පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ, අපි ආවාම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අලුතෙන් පටන් ගන්නවා. එහෙම නැත්නම් මූල්‍ය අරමුදලේ තියෙන මේ අහිතකර කොන්දේසි අපි අයින් කරනවා. ජනතාවට සුභවාදී කොන්දේසි ගේනවා. අපි අන්න ඒ කටකතාවලට නිශ්චිත උත්තර මේ ප්‍රධාන අපේක්ෂකයන් යැයි කියාගන්න අයගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ අපි බංකොලොත් වුණාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ක්‍රියාදාමයට පාදක වෙච්ච මූලික ලියවිල්ලක් තියෙනවා. ඒක තමයි අපගේ ණය තිරසර කර ගැනීමේ විශ්ලේෂණය. (Debt Sustainability Analysis) ඒකෙ කවර කොටස් වෙනස් කරන්නේ කියලා බොහොම පැහැදිලිව මේ නායකයෝ කියන්න ඕනේ රටට. නැත්නම් ඒක මහජනයාට කරන බරපතල වංචාවක්.”

Leave a Reply