වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.ඇතැමුන් පවසන්නේ, රට පියවර ගණනක් ඉදිරියට ගියේ ඇය නිසා බව ය. තවත් පිරිසක් පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ඇගේ ඒකාධිකාරවාදී පාලන ස්වභාවය තිබියදී පවා එය සිදුව ඇති බව ය. ඇගේ ස්ථාවරය අද මෙන් කිසි දාක අභියෝගයට ලක් නොවිණි.
ශිෂ්‍ය විරෝධතාවලින් බංගලාදේශ රජය පෙරළේවි ද ?
ශාන්ත නමුත් දැඩි ස්වභාවය සඳහා ප්‍රසිද්ධ ඇය එරට ආරම්භක ජනාධිපතිවරයාගේ දියණිය වන අතර ඇය බොහෝ අර්බුද සහ ජීවිත තර්ජනවලට මුහුණ දී තිබේ.
සිය පාලන කාලය තුළ, ඇගේ රජය හමුදා නිලධාරීන් 57 දෙනෙකුට මරු කැඳවූ එරට පැරාමිලිටරි දේශසීමා හමුදාවන්හි කැරැල්ලකින් ආරක්ෂා විණි. එමෙන් ම, ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැඩි ලෙස විවේචනය කරන ලද මතභේදාත්මක මහ මැතිවරණ තුනක්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ චෝදනාවලට සහ විපක්ෂ කණ්ඩායම්වල වීදි විරෝධතාවලට ද මුහුණ දුන්නේ ය.
කෙසේ වෙතත්, මේ වන විට ඇය මුහුණ දෙමින් සිටින්නේ, ශිෂ්‍ය විරෝධතාවලින් රට අඛණ්ඩව වෙළී යාමත්, විරුද්ධ පක්ෂ ශිෂ්‍ය අරගලය පිටුපස ඒකරාශී වීමත් නිසා ඇයගේ දේශපාලන ජීවිතයේ එල්ල විය හැකි බරපතළ ම අභියෝගය වෙත ය.
ඉරිදා බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ රැකියා සඳහා වූ කෝටාවන් බොහොමයක් ඉවත් කළේ ය. රට පුරා ප්‍රචණ්ඩ ගැටුම් ඇති කළේ, මේවාට එරෙහි විරෝධතා ය. 100කට වැඩි පිරිසක් – වැඩි වශයෙන් තරුණ සිසුහු – රජයේ ආරක්ෂක හමුදාවන් දැක්වූ දැඩි ප්‍රතිචාරය හේතුවෙන් මරණයට පත්වූහ.
‘ප්‍රෙෂර් කුකර්’ වැනි තත්ත්වයක්
ආසියාවේ ඒකාධිපතිවාදය පිළිබඳව පුළුල් ලෙස පර්යේෂණ කළ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුබාෂර් හසන් විශ්වාස කරන්නේ, මෙය එක රැයකින් සිදු වූ දෙයක් නොව “ප්‍රෙෂර් කුකරයක් ක්‍රියා කරන ලෙස ඇති වූ තත්ත්වයක්” බව ය.
ආචාර්ය හසන් බීබීසී බංග්ලා සේවය වෙත පැවසුවේ: “මතක තබා ගන්න, අපි මේ කතා කරන්නේ මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය රුසියාවට ත් වඩා පහළින් පවතින රටක් ගැන.
“ෂෙයික් හසීනා සහ ඇගේ පක්ෂය නිදහස් සටනේ නියම අර්ථය ඕනෑවට වඩා දේශපාලනීකරණය කිරීම, පුරවැසියන්ගේ මූලික ඡන්ද අයිතිය වසරින් වසර ප්‍රතික්ෂේප කිරීම සහ ඇගේ පාලන තන්ත්‍රයේ ඒකාධිපති ස්වභාවය සමාජයේ විශාල කොටසක් කෝපයට පත් කළා.
“අවාසනාවකට මෙන්, ඇය කිසි විටෙකත් රටේ සෑම කෙනෙකුට ම අගමැති වුණේ නැහැ; ඒ වෙනුවට, ඇය නායිකාව වුණේ එක කණ්ඩායමකට විතරයි.”
පසුගිය සතිය පුරා දිග හැරුණු සිදුවීම් ගැන ආචාර්ය හසන් කිසිසේත් ම පුදුම වන්නේ නැත.
බංගලාදේශයේ ශිෂ්‍ය නොසන්සුන්තාව ආරම්භ වූයේ 1971 නිදහස් සටනට සම්බන්ධ වුණු හිටපු හමුදා නිලධාරීන්ගෙන් පැවත එන්නන් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන් කරන ක්‍රමයක් අහෝසි කරන ලෙස විශ්වවිද්‍යාල සහ විද්‍යාල සිසුන් ඉල්ලා සිටීමත් සමග ය.
පසුගිය මාසයේ මහාධිකරණය විසින් මෙම ආන්දෝලනාත්මක කෝටා ක්‍රමය යළි ස්ථාපනය කරනු ලැබීමෙන් පසු විරෝධතා උත්සන්න වූ අතර ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් විරෝධතාකරුවන්ට පහර දීමත් සමග එය ප්‍රචණ්ඩ තත්ත්වයකට හැරිණි.
ඉරිදා පෙරවරුවේ, බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය කෝටා ක්‍රමය යළි ස්ථාපනය කළ සහ ශිෂ්‍ය විරෝධතා අවුළුවාලූ මතභේදාත්මක මහාධිකරණ තීන්දුව අවලංගු කිරීමට පියවර ගත්තේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ද එම ඉල්ලීම ම සිදු කළේ, හසීනා රජයට ප්‍රශ්නය අවසන් කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙමිනි.
රජයට ආරක්ෂා විය හැකි ද ?
දැනට පවතින කලබලකාරී තත්ත්වය සමනය කිරීමට අධිකරණ තීන්දුව ප්‍රමාණවත් වේ ද යන්න තවමත් පැහැදිලි නැත.
ශිෂ්‍යයන්ට දැන් අවශ්‍ය වන්නේ, ජීවිතක්ෂයට පත් වූ සිය දුසිම් ගණනක් වන සහෘදයන් සඳහා යුක්තිය වේ. එයින් අදහස් වන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සහ පාලක පක්ෂයේ සාමාජිකයින්ට නඩු විභාගවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ය.
නහිඩ් ඉස්ලාම් යනු, මෙම විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන චරිතයක් වන අතර ඔහු නිදහස් වීමෙන් පසු බීබීසීය වෙත පමණක් අදහස් දැක්වීය. ඔහු මෙම ව්‍යාපාරයේ සිටින එක ම නායකයා නොවන නමුත් ඔහු නිසැකව ම වඩාත් ම කැපී පෙනෙන චරිතය වේ.
ඔහු මෙසේ පැවසීය: “මේ ඇඳිරි නීති තත්ත්වය මධ්‍යයේ අපි අපේ ව්‍යාපාරය දිගට ම කරගෙන යනවා ද කියන එක තව ම තීරණය කරලා නැහැ.”
ඩකාහි හිටපු ඉන්දීය නියෝජිතයෙකු මෙන් ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන රිවා ගංගුලි දාස්, බංග්ලාදේශයේ තත්ත්වය අවම වශයෙන් “ව්‍යාකූල සහ ප්‍රහේළිකාමය” ස්වභාවයක් ගන්නා බව පිළිගනී.
ඇය බීබීසී බංගලා සේවය වෙත මෙසේ පැවසුවා ය: “ෂෙයික් හසීනා රජය දෙදරලා ගිහින් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මීට දින කිහිපයකට පෙර ඇය ම ප්‍රකාශ කළා, අපි අධිකරණයේ තීන්දුව එනතුරු බලා සිටිය යුතු යි කියලා.
“දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කර කරලා තියෙන්නේ, ඉඳුරා ම නැවත වරක් කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින්. ඒ නිසා ශිෂ්‍යයන්ට තම විරෝධතාව දිගට ම කරගෙන යන්න කිසිදු හේතුවක් නැහැ.
“ඔවුන් නැවත ඔවුන්ගේ පන්තිවලට යාවි කියලා මම අපේක්ෂා කරනවා. දින කිහිපයකින් දේවල් සාමාන්‍ය තත්ත්වයට පත් වේවි කියලා.”
තවත් විශ්ලේෂකයෙකු සහ ඩකා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අක්‍රමිකතා අංශයේ සභාපති ෂර්මින් අහමඩ් අනතුරු අඟවන්නේ, ඉක්මනින් විසඳුමක් ලබා නොගතහොත් වත්මන් ව්‍යාපාරය – ඇය “තර්කාන්විත” ලෙස හඳුන්වන – අරාජික කණ්ඩායමක ග්‍රහණයට ලක් විය හැකි අතර එය විශාල අස්ථාවරත්වයකට තුඩු දිය හැකි බව ය.
දශක එකහමාරකට වැඩි කාලයක් ෂෙයික් හසීනා පාලන තන්ත්‍රයේ ප්‍රබල ම සහයකයා ලෙස ජාත්‍යන්තරව සැලකෙන අසල්වැසි ඉන්දියාව දේශසීමාවෙන් එපිට සිට තත්ත්වය දෙස බලා සිටී.
සිකුරාදා පෙරවරුවේ ඉන්දියාවේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකගෙන් බංගලාදේශයේ සිදුවීම් පිළිබඳව විමසූ විට මෙසේ පැවසීය: “අපි මේක සලකන්නේ ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විදිහට.”
කෙසේ වෙතත්, ඔහු පසුව පිළිගත්තේ, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් පෞද්ගලිකව තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව බව ත්, ඉන්දියාවට තම අසල්වැසි ප්‍රදේශයේ භයානක සිදුවීම්වලින් ඈත්ව සිටිය නොහැකි බව ත් ය.
අර්බුදය උග්‍ර වුවහොත් තමන් කොතෙක් ෂෙයික් හසීනාගේ රජය සඳහා උපකාර කිරීමට හස්තය දිගු කරන්නේ ද යන්න දිල්ලිය රජය පැහැදිලිව සඳහන් කර නොමැත.
විරෝධතා ඇවිළුණේ කෙසේ ද ?
දේශපාලන විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ ෂෙයික් හසීනාගේ දේශපාලන අතපසුවීමක් මෙම තත්ත්වය තවත් උග්‍ර කළ බව ය.
පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී, ඇය දැනට ක්‍රියාත්මක කෝටා ප්‍රතිසංස්කරණ විරෝධතා ව්‍යාපාරය ගැන සඳහන් කරමින්, එය නිදහසට-ගැති සහ නිදහසට-විරෝධී බලවේග යන ද්විත්වය තුළට සීමා කළා ය. එය ඇගේ පක්ෂය පසුගිය දශකය පුරා දේශපාලන වාසිය සඳහා යොදාගත් ආඛ්‍යානයකි.
ඇය මෙසේ පැවසීය: “නිදහස සඳහා සටන් කළ සටන්කරුවන්ගේ මුණුබුරන්ට මේ කෝටාව නොලැබෙන්නේ නම්, රසකාර්වරුන්ගේ (පකිස්ථාන සහයෝගිතාකරුවන්ගේ) මුණුබුරන්ට කෝටාව ලැබිය යුතු ද? මගේ ප්‍රශ්නය එය යි.”
ඉන් පැය කිහිපයක් ඇතුළත විවිධ විශ්වවිද්‍යාලවල සිසුහු අගමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කිරීමට පටන් ගත්හ.
පොලිසිය සහ ආරක්‍ෂක හමුදාව (RAB) බලය යොදමින් ඊට ප්‍රතිචාර දැක්වූ අතර ආණ්ඩු පක්ෂයේ ශිෂ්‍ය අංශය ද ප්‍රහාරයට සම්බන්ධ වූයේ තත්ත්වය තවත් උග්‍ර කරමිනි.
ඉන් අනතුරුව උදා වූ පැය 72 තුළ රට ප්‍රචණ්ඩ ගැටුම්, ජාතික රූපවාහිනී ගොඩනැගිල්ල ගිනි තැබීම, සිරකරුවන් සිය ගණනක් පැන යාමත් සමග සියයකට වැඩි මරණ සංඛ්‍යාවක් සිදු විය.
අගමැතිනි ෂෙයික් හසීනාට මෙය දැවැන්ත පරීක්ෂණයකි.
බංගලාදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල සාමාන්‍ය සිසුන් රටේ බලවත් ම කාන්තාවට පෙර නොවූ විරූ ලෙස අභියෝග කරන්නට සමත් වී ඇත.