The next prime minister may be born from Uva province

මුලු බදුල්ලම උඩුයටිකුරු වෙයි

HotPolitical

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්,වඩිවෙල් සුරේෂ් ,අනුර විදානගමගේ,සමරවීර වීරවන්නි,අරවින්ද කුමාර්,සුදර්ෂණ දෙනිපිටිය ඇතුලු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්ගේ හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා ඒකමතිකව තීන්දු කළේ එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමටය.

එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්විය යුතු බවයි. ඒ සඳහා සියලු දෙනා අත් ඔසවා එකඟත්වය පළ කිරීම සිදු විය.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු හරින් ප්‍රනාන්දු මහතා සහභාගි වූ පළමු දේශපාලන වැඩසටහන මෙය වූ අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට තමන් සූදානම් බව එහිදී ඒ මහතා පැවසීය.

🔰 හරින් සජිත්ට කළ අභියෝගය !

හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන විත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවද එහිදී  හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.තමන්ගෙන් පුරප්පාද වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කුලල් කා ගැනීම් ඉස්මතු වී ඇති බවද එහිදී හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

මීළඟ අගමැති ගැනත් ඉගියක් !

මීළඟ අගමැතිවරයා ඌව පළාතෙන් බිහිවිය හැකි බවට හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ඉඟි පළකර තිබේ.

“මට මේක දැනෙනවා. ඌව පළාතෙන් අගමැති කෙනෙක් පත්කරන්න අවශ්‍ය නම් ආසන 9ම (බදුල්ල දිස්ත්‍රික්කයෙන්) දිනන්න පුළුවන් නම්, ඔහුව අගමැති කිරීමේ වගකීම මම භාරගන්නවා.” යැයි එහි පැමිණ සිටි නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ඉදිරියේ ඔහු සඳහන් කළේය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී නිමල් සිරිපාල ද සිල්වා ඡන්ද 141,901 ක් ලබාගනිමින් බදුල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය.

Leave a Reply