අපි හිටගන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්රික් අපේක්ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ගම්පහ නගර සභා පිටියේ ඊයේ (11) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ගම්පහ දිස්ත්රික් අපේක්ෂක මවුලවි මුනීර් මුලෆ්ෆර්,
“මේ රට විනාශ කළ දූෂිතයන් පාර්ලිමේන්තුවට නැවත නොයවන ලෙස මෙතැනට නොපැමිණ සිටින සියලු ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. මේ රට විනාශ කිරීමට මූලික වූ පුද්ගලයන් වෙනත් පක්ෂවලින් වාගේම ස්වාධීන කණ්ඩායම්වලිනුත් ඉදිරිපත් වී සිටිනවා. මොන වෙස්මුහුණු බැඳගෙන ආවත්, අපි රැවටෙන්නේ නැහැ. අපි හිටගන්නේ, අපි යන්නේ ජාතික ජන බලවේගය සමඟයි කියන පණිවුඩය ගම්පහ ජනතාව විසින් ලබා දී තිබෙනවා. විදේශගත වී සිටින ආදරණීය ශ්රී ලාංකිකයන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහත් ශක්තියක් ලබා දුන්නා. ඔවුන් එයින් ඔප්පු කළේ ඔවුන්ගේ හදවත හැම විටම මේ මහ පොළොවත් එක්ක බද්ධ වී තිබෙන බවයි. ඔවුන් හැම අවස්ථාවකදීම මේ රට හොඳ, යහපත්, නිවැරැදි තැනකට පත් කරන්න කල්පනා කරන බවයි. ඒ නිසාම ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන පැමිණියා. එසේ පැමිණිය නොහැකි අය ඔවුන්ගේ ඥාති, මිත්රාදීන් දැනුම්වත් කර ජාතික ජන බලවේගයේ ජයග්රහණය වෙනුවෙන් ක්රියා කළා. සිංහල, දෙමළ, මුස්ලිම් වාගේම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සියලුම දෙනා එක් වී ශ්රී ලාංකිකයි කියන රටක් අපි ගොඩනඟමු. අපි මාලිමාවේ එකට මේ මැතිවරණයට මුහුණ දෙමින්, මේ දක්වා ගොඩනඟා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනඟන්න කැප වී ක්රියා කරමු.”