fbpx

මංගලව වහාම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්!

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා රාජ්‍ය නිලධාරීන් සහ රට නොමඟ යැවීමට කටයුතු කර ඇති හෙයින් වහාම ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, හිටපු විදුබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 


ඒ මහතා පවසන්නේ අප්‍රේල් 28 වනදා මංගල සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් ඔහු රාජ්‍ය නිලධාරීන් සහ රට නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි. 


පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මුදල් භාවිතා කිරීම නීතිවිරෝධී බවත් එසේ භාවිතා කළහොත් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය පවසා අහෝසි කළ හැකි බවත් මංගල සමරවීර මහතා ඔහුගේ ලිපියෙන් සඳහන් කර ඇති බව පෙන්වා දෙන අලුත්ගමගේ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියෙහි ජනාධිපතිවරයාගේ මුදල් බලතල පැහැදිලිව දක්වා ඇති බැවින් එම ලිපියේ සඳහන් කරුණු අසත්‍ය බවයි ප්‍රකාශ කළේ. 


ඒ අනුව මෙවැනි අසත්‍ය කරුණු ඉදිරිපත් කරන මංගල සමරවීර මහතාව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. 


මංගල සමරවීර යනු රටට එරෙහි අණ පනත් සම්මත කළ පුද්ගලයෙකු බවටත් සමලිංගිකත්වය පනතකින් සම්මත කිරීමට උත්සාහ කළ අයෙකු බවටත් මැතිවරණය ආසන්නයේ මත්පැන් බලපත්‍ර විකුණා මිලියන 600ක් කොමිස් ගත් අයෙකු බවටත් චෝදනා කළ ඒ මහතා ඔහුට මුදල් භාවිතය පිළිබඳ සාමාන්‍ය දැනීමක් හෝ තිබේදැයි ප්‍රශ්න කළේය. 


මංගල සමරවීර ඔහුට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හඳුන්වාගත්තත් ඔහු මැතිවරණ වලට බිය බව පැවසූ අලුත්ගමගේ මහතා එවැනි ලිබරල්වාදී පඹයින් ඕනෑ තරම් සොයාගැනීමට හැකි බව ද ප්‍රකාශ කළේය. 


මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ නාවලපිටිය නගරයේදී මාධ්‍ය අමතමිනි. 

Leave a Reply