fbpx

විනාඩි 10න් මුළුතැන්ගෙය පිරිසුදු කරගන්න

Shii

ගෘහණියක් හැමවිටම මුළුතැන්ගෙය ප්‍රසන්නව පිරිසුදුවට තබා ගැනීමට උත්සාහ කරනවා. උයන පිහින කටයුතු වගේම පිරිසුදු කිරීමේදීත් නිවැරැදි පහසු ක්‍රමවේද ගැනත් දැන ගැනීම වැදගත්.

සනීපාරක්ෂක සේදුම්කාරක
විවිධ නිෂ්පාදන යටතේ වෙළෙ¼දපොළට එන සේදුම්කාරක නිතරම භාවිත කිරීමට ඔබ හුරුවී ඇති. පිඟන් වැනි දීසි පිරිසුදු කිරීමට පමණක් නොව බැක්ටීරියා ඉවත් කිරීමටත් සුදුසු සේදුම්කාරකයක් ලෙස බ්ලීචිං කුඩු භාවිත කළ හැකියි. කුණු සෝදා හැරගත් පසු බ්ලීචිං කුඩු මේස හැන්දක් මිශ්‍ර කරගත් ජල බඳුනකට එම දීසි පොඟවා තබන්න. දැන් ස්පොන්ජ් කැබැල්ලක් ගෙන දීසි හා සින්ක් එකද සෝදා හැරිය හැකියි. භාජනවල ඉඳුල් දුගඳ ඉවත් කරමින් පිරිසුදු කිරීමට එය සුදුසුම සේදුම්කාරකයකි. නිතර කුණු දූවිලි රැඳීම නිසා ඇති වන බැක්ටීරියා වැළැක්වීමටත් මෙම බ්ලීචිං සහිත දියර සින්ක් එක පිරිසුදු කිරීමට යොදාගන්න.


සුදුසුම සේදුම්කාරක සබන් වර්ගය
විසබීජ නාශක සහිත සබන්වල ලැක්ටික් ඇසිඩ් අඩංගු වන නිසා බැක්ටීරියා මර්දනය කිරීම හා තෙල් ඉවත් කිරීමේ හැකියාවද පවතියි. ඔබ පිඟන් පිරිසුදු කිරීමේදී එක පිඟානක් පිරිසුදු කර දෙවැනි පිඟාන පිරිසුදු කරන විට නැවැත සබන් වරින් වර ස්පොන්ජ් කැබැල්ලෙන් ගෙන අතුල්ලයි. නමුත් නිවැරැදි සබන් වර්ගයක් භාවිත කරන්නේ නම් මෙය ඔබට අත්විඳින්න සිදු නොවේ. වෙළෙඳපොළේ ඇති බොහොමයක් නිෂ්පාදනවල පෙණ ගතිය අඩු හා තෙල් ඉවත් නොකරන නිසා ඒවා තෝරා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්න.


එකවර දීසි කිහිපයක් සේදීමට
එකවර දීසි කිහිපයක් සේදීමට ඇති විට මඳ උණුසුම් සබන් දියර සහිත ජලයෙන් සින්ක් බඳුනේ අඩක් පුරවන්න. ඉන්පසුව සේදීමට ඇති පිඟන් ආදිය එහි විනාඩි 2ක් පමණ බහා තබන්න. දැන් ඒවා ඉවතට ගෙන හොඳින් පිරිමැද මදින්න. දැන් වතුර බැස යෑමට සලස්වා දීසි පහසුවෙන්ම පිරිසුදු කර ගැනීමට ඔබට පුළුවන්. නමුත් ඉඳුල් සහිත භාජන හොඳින් පිරිසුදු කිරීමට සිසිල් ජලයෙන් අවසානයට සෝදා හරින්න.


රළු ස්පොන්ජ් කැබැල්ලක්
දැල් සහිත ස්පොන්ජ් කැබැල්ලක් නම් මුළුතැන්ගෙයි පිරිසුදු කිරීමට අත්‍යවශ්‍යම අංගයක්. ආහාර ඇලී ඇති භාජන හොඳින් අතුල්ලා පිරිසුදු කිරීමට මෙය වඩාත් සුදුසුයි. බේකින් සෝඩා ස්වල්පයක් එවැනි ස්ථානවල තවරා දැල් සහිත ස්පොන්ජ් කැබැල්ලකින් සෝදා හැරීමෙන් වැඩි ඔපයක් ලබා ගත හැකියි. මෙයට උණුසුම් ජලය යොදා ගන්නේ නම් ඔබේ කාර්යය වඩාත් පහසු වෙයි.


පිස්නා මාරු කිරීම
මුළුතැන්ගෙයි උපකරණ පිස දැමීමට හා මේස පිස දැමීමටත් රෙදි කැබැල්ලක් භාවිත කරයි. නිතර කුණු දූවිලි හා ඉඳුල් රැඳෙන මෙම රෙදි කඩ නිතර සෝදා පිරිසුදු කර ගන්න.
මුළුතැන්ගෙයි වුවත් මේස පිස දැමීමට භාජන පිස දැමීමට හා අත් පිසීමට වෙනම රෙදි කඩ කිහිපයක් භාවිත කළ හැකි නම් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි. ඒවගේම මෙම රෙදි නිතර මාරු කිරීමටත් සිහි තබාගන්න.


සින්ක් එක අසල භාජන ගොඩගැසීම
ඔබ නිවෙසට අමුත්තන් ආවිටෙක ඉඳුල් දීසි ආදිය සින්ක් එක අසල ගොඩ ගසා තැබීමට බොහෝ දෙනා හුරුවී සිටිනවා. නමුත් හැකි සෑම විටම ඉන් එකින් එක හෝ සෝදා පිරිසුදු කර එම ස්ථානයෙන් ඉවත් කර ගන්න. පිඟන් ආදිය හා පිහි වැනි උපකරණ වෙන් කර තබා සේදීමටත් වග බලා ගන්න.



ශාලිකා රංගනි සමරදිවාකර

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න….


Leave a Reply