fbpx

සමහර කතුන් කායික සබඳතා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

Sex Positive



තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන්ද හට ගනී. පිරිමියකු හා කායිකව එකතුවීමේදී දරාගත නොහැකි දැඩි වේදනාවක් ඇතිවිය හැකියැයි යන පණිවිඩය මොළයට ගමන් කිරීමත් සමග අඹුසැමි සබඳතාවයත් පවත්වන්නට සූදානම් වන විටදී ශාරීරිකවද ඊට විරෝධය දක්වන පසුබිමක් නිර්මාණය වේ. 


ඒ අනුව යෝනි ප්‍රදේශයේ මාංශපේෂීන් සංකෝචනය වන්නට පටන් ගැනීමත් සමග දෙපා දැඩි වී යෝනි ප්‍රදේශයේ තෙත් බවට හේතු වන ශ්‍රාවයන් නිකුත්වීමද නතර වේ. මේ ආකාරයට කාන්තාවක් වෙජිනිස්මස් රෝගී තත්ත්වයට ගොදුරු වන මානසික පසුබිමක් සැකසීමට බලපාන හේතු පිළිබඳව අප විමසා බලමු. 


ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය වේදනාකාරී අත්දැකීමක් ලෙස සමහර වැඩිහිටි කාන්තාවන් අතිශයෝක්තියෙන් පවසන අවස්ථා තිබේ. විවාහයට පෙර එවැනි කතා ඇසීම නිසා ස්ත්‍රී පුරුෂ සබඳතාවයන් පිළිබඳ අනියත බියකින් පසුවීම හේතුවෙන්ද කාන්තාවන් වෙජිනිස්මස් තත්ත්වයට පත්විය හැකිය. 


කුඩා කාලයේ වැඩිහිටියකු අතින් අපයෝජනයට ලක්වන දැරියකගේ සිතේ එම සිදුවීම බිහිසුණු අත්දැකීමක් ආකාරයට යටි සිතේ තැන්පත් වී තිබිය හැකිය. වැඩිහිටි වී විවාහ වූ පසුව සැමියා සමග කායිකව එකතු වන්නට සූදානම්වන විටදී එම අමිහිරි මතකය නැවත නැවත ආවර්ජනය වෙමින් එම පණිවිඩය මොළයට ගමන් කිරීමේ ප්‍රතිඵලය කායිකව එක්විය නොහැකි ආකාරයට ශරීරය ක්‍රියාත්මක වීමය. 


මීට අමතරව කුඩා දැරියක්ව සිටියදී දරු ප්‍රසූතිය වේදනාකාරී ආකාරයට පිළිබිඹු වූ චිත්‍රපට ආදිය දැකීම නිසාද පසුකාලීනව මෙබඳු තත්ත්වයකට පත් වන කාන්තාවෝ සිටිති. එහිදී අඹුසැමි සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස දරු ප්‍රසූතියකට මුහුණ දෙන්නට සිදුවේවි යන බිය මොළයට ගමන් කිරීම නිසාද අඹුසැමි සබඳතාවයත් භීතිකාවක් බවට පත්විය හැකිය. තවත් විටෙක පෙර දරු ප්‍රසූතියකදී විඳින්නට සිදුවූ දැඩි වේදනාවක් හේතුවෙන්ද එවැනිම වූ තත්ත්වයක් උද්ගත විය හැකිය. පෙර ප්‍රසූතියේදී මුහුණ දුන් වේදනාකාරී අත්දැකීමට නැවත මුහුණ දෙන්නට සිදුවේවිදෝයි පවතින බිය මොළයට සන්නිවේදය වී පෙර ආකාරයටම මාංශපේෂීන් සංකෝචනය වීම ඇතුළුව කායිකව එකතු වීමට බාධාකාරි පසුබිමක් නිර්මාණය විය හැකිය. 


මේ ආකාරයට අඹුසැමි සම්බන්ධතාවයන්ට බියක් දක්වන කාන්තාවන්ට අවශ්‍ය වන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාරයන්ය. 


එවැනි සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය හා සම්බන්ධ ගැටලුවක් යැයි සිතා යෝනි මාර්ගය පුළුල් කිරීමේ සැත්කම් කළද එම තත්ත්වය නැවත නැවත උද්ගත විය හැකිය. එවිට ඊට හේතුව මානසික බලපෑමක් බව අවබෝධ කොට ගෙන මනෝ වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යාවශ්‍යය. 

(මහනුවර මහ රෝහ‍ලේ මනෝ රෝග විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන අවධාරණය කරයි)
 – උත්පලා සුභාෂනී ජයසේකර


This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

Leave a Reply