බොහෝ දෙනාගේ ජීවිතවල සිහින තිබේ. එහෙත් ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා අභියෝග ජයගෙන, ඉලක්කය කරා යන සැළැස්මක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන අය හමුවන්නේ කලාතුරකිනි.
නොයෙකුත් හේතු නිසා ඇතැමුන් තමන්ගේ ඉලක්ක අතහැර දමන අවස්ථා අපි දැක ඇත්තෙමු.
ඇතැම් විට ”මම කාන්තාවක්”, ”ඒකට මම පුංචි වැඩියි” වැනි සිතිවිලි මෙන්ම සමාජයෙන් එල්ලවන පීඩාවන් ද ඊට පසුබිම් බිය හැක.
එහෙත් වයස, ලිංගිකත්වය, තමන්ට එල්ලවූ මානසික හිංසන හෝ වෙනත් කිසිඳු කරුණක් බාධාවක් කර නොගෙන අධ්‍යාපනය අවියක් කර ගනිමින් ඉලක්ක හඹා ගිය දැරියක් අවසානයේදී අඩු වයසකින් ආචාර්ය උපාධිධාරිනියක් වීම ගැන අපට අසන්නට ලැබිණි.
අද ඇගේ එම සිහිනය සැබෑ වී ඇත.
”මම අද ගොඩාක් සතුටු වෙනවා ලංකාවේ ළාබාලම ආචාර්ය උපාධිධාරිනිය විදියට වයස අවුරුදු 24 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකිවීම ගැන. වයස කියන්නේ ඉලක්කමක් විතරයි” යනුවෙන් ආචාර්ය බුද්ධිමා සුබසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
ආචාර්ය බුද්ධිමා සුබසිංහ මේ වන විට ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයේ [NIBM] පරිගණක අංශ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන්නීය.
මවුපියන්ගේ රැකියාවල කාර්යබහුලත්වය නිසා අවුරුදු දෙකහමාරේදී ඇයව පෙර පාසල් අධ්‍යාපනයට හා පාසල් අධ්‍යාපනය සඳහා ඇය විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලට ඇතුළත් කර තිබිණි.
‘බුලි’ වීමෙන් මිදෙන්න අතට ගත් ආයුධය
”මගේ අම්මා වැඩ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ. තාත්තා ශ්‍රී ලංකා රේගුවේ. දෙන්නම කොළඹට ආපු රජයේ සේවකයෝ නිසා මාව ඉක්මණටම පාසලකට දාන්න ඕනා වුණා. ඒ නිසා මට කිරි බෝතලයත් අරගෙන තමයි පාසල් යන්න සිද්ධ වුණේ. පංතියේ හිටපු යාළුවෝ මට වඩා වයසින් වැඩියි. පංතියේ ‘සුරතලා’ වෙච්ච මට ටීචර්ගේ වැඩි අවධානයක් ලැබීමත් එක්ක මට ඇතැම් යහළුවන්ගේ හිංසාවන්ට පත්වෙන්න සිද්ධ වුණා. ගොඩාක් බුලි වුණා යාළුවන්ගෙන් ” යනුවෙන් ඇය පැවසුවාය.
ඇය පවසන පරිදි ඇතැම් යහළුවන් ඇයව කණ්ඩායමෙන් කොන් කර පැත්තකට කර තබන්නට ක්‍රියා කර ඇති අතර එහිදී දැඩි මානසික පිඩාවන්ට පත්ව ඇත. ඒ තත්ත්වයෙන් මිදීමට ඇය අතට ගත් ආයුධය වන්නේ අධ්‍යාපනය විය.
හැරවුම් ලක්ෂය
වයසින් වැඩි යහළුවන් සමග, වයසට දරාගත නොහැකි විෂය කරුණු ඉගෙනීම බුද්ධිමාට ආරම්භයේදී ඉතා පීඩාකාරී වී විය. එබැවින් පාසලේ මුල් කාලයේදී ඇය එතරම් දක්ෂතා නොදැක්වූ අතර දෙවන වසරේ අවසාන වාරයේ ඉගනුම ලබන විට ලද අත්දැකීමක් සිය ජීවිතය නව මගකට යොමු කරන්නට හේතු වූ බව ඇය පැවසුවාය.
”මට අද වගේ මතකයි දෙකේ පංතියේ ප්‍රයිස් ගිවිං එක. පිටිපස්සේ පේළියේ ඉදලා මම බලාගෙන ඉන්නවා, සමහරක් ළමයින්ගේ නම් කියනකොට පෝළිමට ඇවිත් තෑගි පිට තෑගී ගන්නවා. ඒ අයගේ දෙමවුපියෝ ළඟ ඉන්න අනෙක් දෙමවුපියෝ එක්ක කතා කරනවා අර මගේ පුතාට, මගේ දුවට ප්‍රයිස් එක හම්බවෙන්නේ. අර බලන්න කියලා. එදා මගේ දෙමවුපියෝ ඒ ශාලාවේ හිටියේ නෑ. මොකද මට එදා ප්‍රයිස් එකක් තිබුණේ නෑ.” යනුවෙන් පැවසු ආචාර්ය බුද්ධිමා සුබසිංහ තමන්ටත් සියලු දෙනාගේ අවධානය දිනා ගත හැකි දරුවෙකු වීමට එදින දැඩි අධිෂ්ඨානයක් ඇතිවූ බව කියා සිටියාය.
අවුරුදු 19දී උපාධි දෙකක්
පසුව ඇය හොඳින් අධ්‍යාපන කටයුතුවල යෙදීම හේතුවෙන් ඉහළ පංතියකට ඇතුළත් වීමේ අවස්ථාව [Double promotion] හිමිවීමත් සමග වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයටත්, අවුරුදු 15දී උසස්පෙළ විභාගයටත් පෙනී සිටි ආචාර්ය බුද්ධිමා සුබසිංහ වයස අවුරුදු 19 වන විට පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණයට අදාළව උපාධි දෙකක් සම්පුර්ණ කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් [SLIIT] සහ කර්ටින් විශ්ව විද්‍යාලයෙනි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ආචාර්ය බුද්ධිමා සුබසිංහ 2017 වසරේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී සිය ආචාර්ය උපාධිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තාය.
”මම PhD එක පටන් ගත්තේ ලංකාවේ ලාබාලම ආචාර්ය උපාධිධාරිනිය වෙනවා කියන ඉලක්කය තියාගෙන. ඒ නිසා මම ඩිරෙක්ට් PhD එකකට ලියාපදිංචි වුණේ. ඒ වෙනකොටත් මම පර්යේෂණ කරලා, හොඳම පර්යේෂණ පත්‍රිකාවලට හිමි සම්මානත් අරගෙන තිබුණ නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඩිරෙක්ට් PhD කරන්න අවස්ථාව දුන්නා.” යනුවෙන් ඇය අතීතය සිහිපත් කළාය.
ආචාර්ය බුද්ධිමා සුබසිංහ මේ වන විට දේශීය හා ජාත්‍යන්තර විද්‍යාත්මක සැසි වලදී සිය පර්යේෂණ පත්‍රිකා රැසක් එළිදක්වා ඇත. එමෙන්ම වෘත්තීය ජීවිතයේදී ඇය දේශීය හා ජාත්‍යන්තරව ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.
සිහිනය තුළ ජීවත්වීම
ඉලක්කය හඹායාම සඳහා සෑම මොහොතක්ම කැපකළ බව ඇය පවසන්නීය. ඇතැම් දුෂ්කර අවස්ථාවල දී චිත්ත ධෛර්යය ගිලිහෙන විට තමන් උපාධිධාරීන් විශාල පිරිසක් ඉදිරියේ ආචාර්ය උපාධිය ලබා ගන්නා අයුරු මනසින් මෙනෙහි කරමින් ඒ තුළ ජීවත්වූ බව ආචාර්ය බුද්ධිමා සුබසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
”රෑට නිදා ගන්නකොට මම කල්පනා කරන දෙයක් තමයි මගේ ඉලක්කයට යන්න අද මොනවද කළේ කියන එක. ඒ වගේම ඊළඟ දවසේ උදේ නැගිට්ටහම, මගේ ඉලක්කයට යන්න අද මොනවද කළ යුත්තේ කියලා කල්පනා කරලා ඒ පොයින්ට් ටික ලියාගෙන ඒ සඳහා වැඩ කරනවා. ඒ අතරේ රැකියාව සහ පවුලේ කටයුතු ටිකත් කරගන්නවා” යනුවෙන් ඇය පැවසුවාය.
කොළඹ 07, සම්බෝධි දහම් පාසලේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා වසර 14ක් පුරා සෙනසුරාදා දිනය කැප කර ඇති බව ද ආචාර්ය බුද්ධිමා සුබසිංහ සඳහන් කළාය.
විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කර ඇති ඇය, විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී ද දස්කම් දක්වා තිබේ. එමෙන්ම පාසලේ නාට්‍ය කණ්ඩායමේ, දැල් පන්දු කණ්ඩායමේ, සාහිත්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වුවාය. එමෙන්ම බොහෝ ක්‍රීඩාවන්ට සහභාගී වී ජයග්‍රහණ ලබා තිබේ.
”යාළුවෝ මාව බුලි කරලා පැත්තකින් තියන්න හදනකොට ඒකෙන් මිදෙන්න මම නොයෙකුත් දේ කළා. එකේ ප්‍රතිපලය තමයි විෂය සමගාමී වැඩ වගේම බාහිර ක්‍රියාකාරකම් වලට යොමුවීම. අවසානයේ ඒකත් මට ආශීර්වාදයක් වුණා. මගේ පුර්වාදර්ශි චරිතය මහාචාර්ය ස්ටීවන් හෝකිං. හැම මොහොතේම මම කල්පනා කරන්නේ ඔහු ඒක කළා නම් ඇයි මට බැරි කියලා.” යනුවෙන් ආචාර්ය බුද්ධිමා සුබසිංහ කියා සිටියාය.
[BBC]