මෙවර මහ මැතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රතිශතය 75% ක් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
අවම ප්‍රතිශතය වන 63% වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි.
පසුගිය ජනාධිපතිවරණයේදී 84% කට ආසන්න ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර තිබූ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව මෙවර ඡන්දය භාවිතා කර ඇත්තේ 71% ක් වැනි ප්රමාණයකි.
මෙවර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ජනාධිපතිවරණයට සාපේක්ෂව 13 කින් පමණ අඩුවීමට ප්‍රධාන වශයෙන් කරුණු 03 ක් බලපා ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.
ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත් වූ වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තිබූ අපේක්ෂා බිඳවැටීම ප්‍රධාන හේතුවකි. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු, අපේක්ෂා බහුතරයක් ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වූ අතර ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය පවා මේ වනවිට ඉරිතලා ගොස් තිබෙනවා.
මීට අමතරව විපක්ෂය දෙකට බෙදීම හේතුවෙන් ද ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩු වී ඇති බවයි විශලේෂකයන් පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඒ නිසා එජාප පාක්ෂිකයා තුළ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති වීම ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන්වා ගැනීමට බාධාවක් වී තිබෙනවා.
මෙම කරුණ තහවුරු කිරීම සඳහා තිබෙන හොඳම උදාහරණය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයයි. මෙවර වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ඊට හේතුව එම දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර කරට කර සටනක් නිර්මාණය වී තිබීමයි. පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් පවා මැතිවරණයට පෙර ප්‍රකාශ වුනේ උතුරු නැගෙනහිර හැරෙන්නට තමන්ට අභියෝගයක් තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් බවයි. මෙවැනි කරට කර සටනක් සෙසු දිස්ත්‍රික්කවල දක්නට නොලැබීම එජාප පාක්ෂිකයා දුර්මුඛ කිරීමට හේතුවක් වී තිබේ.
මෙවර ඡන්ද ප්‍රතිශතය අවම වීමට බලපා ඇති තෙවැනි හේතුව කොවිඩ් 19 වෛරසයේ බලපෑමයි. විශේෂයෙන්ම පාවෙන ඡන්දදායකයා ඡන්ද පොළෙන් ඈත්කර තැබීම සඳහා වෛරසයේ බලපෑම හේතු වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන උපරිම සෞඛ්යාරක්ෂිත බවට කෙතරම් ප්‍රකාශ කළද ඇතැමුන් එය විශ්වාස නොකළ අතර එය ඔවුන්ගේ පාර්ශ්වයෙන් අතිශය සාධාරණය.
මැතිවරණ කොමිසමේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය
නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 74%
බදුල්ල දිස්ත්‍රික්කය – 74%
මොනරාගල දිස්ත්‍රික්කය – 74%
වන්නි දිස්ත්‍රික්කය – 73%
රත්නපුර දිස්ත්‍රික්කය – 73%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 73%
මඩකලපුව දිස්ත්‍රික්කය – 72%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 72%
කොළඹ දිස්ත්‍රික්කය – 72%
කළුතර දිස්ත්‍රික්කය – 71%
මහනුවර දිස්ත්‍රික්කය – 71%
මාතලේ දිස්ත්‍රික්කය – 71%
මාතර දිස්ත්‍රික්කය – 71%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 71%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 71%
කෑගල්ල දිස්ත්‍රික්කය – 71%
ගම්පහ දිස්ත්‍රික්කය – 69%
ගාල්ල දිස්ත්‍රික්කය – 69%
යාපනය දිස්ත්‍රික්කය – 69%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 69%
පුත්තලම දිස්ත්‍රික්කය – 63%
[LNW]