තමන්ව පරාජයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම කුමන්ත්‍රණයක් දියත් වුණු බවත් මැතිවරණ සටන ආරම්භයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් සිදුවුණු බවත් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා පවසයි.
“මේ ඡන්ද ප්‍රමාණෙකින් මගේ අනුපාතය වෙනස් කරන්න ඇති. ඒ වෙනස් කරලා මාව බිඳ දමන්නත් ඇති. මං දන්නවා ඒකට සැලසුම් කරපු අයත්. සැලසුම් කරපු බලවේගත්.
මැතිවරණ සටන පටන් ගන්නකොට මේ කඳවුර දෙකට බෙදුණා. පොදුජන පෙරමුණ සහෝදරත්වයෙන් කරන්න තිබුණ කඳවුර දෙකට බෙදුවා. ඒ කඳවුර බෙදන්න හදපු සැලසුම්කරුවෝ කොළඹ මට්ටමේ ඉඳන්ම මැදිහත් වුණා. වෙල්ලස්සේ සිංහල ලකුණක්, බෞද්ධ ලකුණක් පාර්ලිමේන්තු යවන්න බැරිවෙන තැනට වැඩේ හැදුවා. ඒ වැඩේ හදලා උදය ශාන්තව දැන් පැත්තකින් තියලා තියෙනවා.
ඒ පරාද කරපු අයට මට කියන්න තියෙන්නෙ එකම දෙයයි, ඔබ හිතනවා නම් මාව මේ විදියට පැත්තකින් තියලා මේ අරගලයේ කොටස්කරුවෙකු වෙන එක නවත්තන්න පුළුවන් කියලා, ඒක නවත්තන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික නිදහස් පෙරමුණ පොහොට්ටු ලැයිස්තුවෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයින් 12 දෙනා අතරින් ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 6 දෙනෙකුට පමණක් වූ අතර වසර ගණනාවක් තිස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප වාර්තාව ඉසිළූ විමල් වීරවංශ මහතාට මෙවර එම වාර්තාව ද අහිමි විය.