එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර 26ක් තිස්සේ එක දිගට දැරූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ඇති බවට පැතිර යන පුවත එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් කළ අසත්‍ය ප්‍රකාශයක් බවට වාර්තා වේ.
මේ වන විට එම පක්ෂයේ නායකත්වය සඳහා පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර නායකත්වය වෙනුවෙන් පාර්ශව කිහිපයක් අතර මත ගැටුම් ඇතිව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව ඇති බවට අකිල විරාජ් මහතා ව්‍යාජ ප්‍රකාශයක් කර ඇත්තේ නායකත්වය තමන් වෙතට ලබා ගැනීමේ උත්සහයේ එක පියවරක් ලෙසයි එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
කරූටත් ආරාධනා
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටින 80 වියැති කරු ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මෙම පිරිස කරු ජයසූරිය මහතා සමග පසුගිය දින කිහිපයේදී සාකච්ජා කොට ඇති බවද දැනගන්නට ඇත.
ඒ සදහා කරු ජයසූරිය මහතාගේ එකගතාවද පළවී ඇති බව පැවසේ.
මෙම යෝජනාව අද දින එජාපයේ පැවැත්වෙන රැස්වීමට ඉදිරිපත් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.
අවසන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළ කරු ජයසූරිය මහතා තමන් දේශාපලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කරමින් මෙවර මහමැතිවරණයට කිසිදු පාර්ශ්වයකින් ඉදිරිපත් නොවීමට පියවර ගෙන තිබිණ.