මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළාත් සභාවලට අයත් සියලු මාර්ග සහ පළාත් පාලන ආයතනවලට අයත් තෝරාගත් ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරීමට තීරණය කර ඇතැයි ‘ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ’ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අද (04) දින අරලියගහ මන්දිරයේ දී මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙම වැඩපිළිවෙළ මහාමාර්ග අමාත්‍යාංශය සහ ග්‍රාමීය මාර්ග සහ අවශේෂ පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය හා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ පළාත් සභාවලට අයත් මාර්ග සියල්ල කාපට් කර යථා තත්ත්වයට පත් කිරීමට නියමිතය. එමෙන්ම පළාත් පාලන ආයතනවලට අයත් මාර්ගවලින්, ප්‍රධාන මාර්ග දෙකක් එකතු කරන මාර්ග, ප්‍රධාන නගරවලට සම්බන්ධවන මාර්ග වැනි විශේෂතා සහිත මාර්ග ද මේ යටතේ වැඩි දියුණු කෙරේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජලසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන සමඟ සම්බන්ධවී කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහි දී අවධාරණය විය.
මාර්ග සකස් කිරීමේ ප්‍රමුඛතා ලැයිස්තුවක් එම ආයතනවලට ලබාදීම හරහා විටින් විට මාර්ග කැඩීම වෙනුවට මාර්ග සකස් කරන අවස්ථාවේදීම ජල සැපයුම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ආදී කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව ඇතැයි ද එහි දී සඳහන් විය.
මාර්ග සකස් කිරීමේ දී පරිසර හිතකාමී භාවය රැකගැනීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් එහි දී මාර්ග දෙපස රටට ගැලපෙන පරිසර හිතකාමී ප්‍රයෝජනවත් ගස් වර්ග පැළ කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පැළ වර්ග තෝරා ගැනීමේ දී පරිසරයට ප්‍රයෝජනයක් නැති පැළ වෙනුවට මී, කුඹුක් ආදී ගස් වර්ගවලට වැඩි අවධානයක් යොමු කරන ලෙසය.
ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ආදී ආයතනවල උපදෙස්, සහාය ලබා ගැනීමේ හැකියාව ඇත. පරිසර අමාත්‍යාංශය යටතේ සෑම ගමකම පරිසර කමිටු සකස් කිරීම ට නියමිතව ඇති හෙයින් මඟ දෙපස රෝපණය කරන ගස් රැකබලා ගැනීම එම පරිසර කමිටුවලට සහ ප්‍රදේශවාසීන්ට පැවරීම සුදුසු බවද මෙහිදී සඳහන් විණි.
‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ ක්‍රියාත්මක කිරීමට ජනතාවට පොරොන්දු වූ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් දියුණු කිරීමේ වැඩපිළිවෙළ මගින් රටේ සියලුම මාර්ග යථා තත්ත්වයට පත් කිරීම, ඉදිකිරීම් ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය හා නාගරික රැකියා අවස්ථා වැඩි කිරීම, දළ ජාතික ආදායම ඉහළ නැංවීමට දායක වීම මෙන්ම සෑම පුද්ගලයකුටම තමන් ජීවත් වන ස්ථානයට නිසි පිවිසුමක් ලබා දීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු රජයේ සහ පළාත් සභා නිලධාරින් රැසක් සහභාගී වූහ.