හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ එල්ලුණ පමණින් ඔහු ශුද්ධවන්ත යෙකු නොවන බවත් ඔහු ආණ්ඩුවට එකතු වුණේ ම තමන්ගේම බේරීම සදහා ම පමණක් ම බවත් පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එක්ව දේශපාලනය කළ පමණින්ම ඔහුට ගැළවීමට හැකියාවක් නැතැයි ද අවධාරණය කරයි.
මහනුවර දී ඊයේ (27) පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතිමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.
“පාස්කු ප්‍රහාරය පිළිබද ව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කළ නිද්‍රාශීලි පිළිවෙත දැන් හෙළි දරව් වෙමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා වග කිව යුතු බව මේ කොමිසමේ දී තහවුරු වුණොත් ඔහුට අනිවාර් යෙන්ම දඩුවම් දිය යුතුයි. අපි එකට දේශපාලනය කළා කියලා, ආණ්ඩුවේ හිටියා කියලා ඔහුට ගැලවෙන්න ඉඩ දෙන්න බෑ.
මේ රටට කරපු විනාශයට වග කිව යුතු ප්‍රධාන කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනවිත් මේ රට අරාජික කිරීමේ වගකීම ද ගත යුත්තේ ඔහුයි. දැන් 19 ගෙනාවේ මම නෙමෙයි කිවුවාට ඔහුට ගැළවීමක් නෑ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගේ ම 19 ගෙනල්ලා මේ රටට කළ විනාශයේ පාපයෙනුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදා ගැලවිය නොහැකියි.’
මේ අතර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට නොගැනීම මුල් කරගෙන ‘කතෝලික විභාවනය’ සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට පිවිසෙන අතුරු මාර්ගය අසල ප්‍රධාන මාර්ගයේ දී උපවාසයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
හෙට (29) දින පෙරවරු 6.30 – 9.30 අතර කාලයේ මෙම උපවාසය සිදු කිරීමට හෙතෙම කටයුතු සූදානම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මිරිහාන පොලිස් සථානාධිපති දැනුවත් කරමින් ලිපියක් යොමු කොට ඇති ඒ මහතා, ඊට විරෝධයක් ඇත්නම් අධිකරණ මාර්ගයෙන් තමන්ට එය දැනුම් දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.