ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s Investors Service විසින් ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන විදේශ මුදල් නිකුතු (long-term foreign currency issuer) සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ශ්‍රේණිගත කිරීම් (senior unsecured ratings) ස්ථාවරය, B2 සිට Caa1 දක්වා පහත දමා ඇත. මෙයත් සමඟ 2020 අප්‍රේල් 17 වන දින ආරම්භ කරන ලද පහත හෙලීම සඳහා වූ සමාලෝචනය අවසන් වේ.
Moody’s විසින් සමාජ අවදානමක් ලෙස සලකන කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ දැනටමත් අරමුදල් හා බාහිර ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති බවට වන සිය ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහත දැමීමට හේතු වී තිබේ.
ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බාහිර ණය සේවාකිරීම් සපුරාලීම සඳහා ඉහළ ද්‍රවශීලතාවයක් සහ බාහිර අවදානම් ඇති වන්නේ එම කාලය තුළ වෙළඳපල ප්‍රතිමූල්‍යකරණය ආයෝජකයින්ගේ ස්ථාවරත්වය වෙනස්වීම් වලට ගොදුරු විය හැකි බවත්, ඒ අතරම රාජ්‍ය ණය හා බාහිර පීඩනයන් දිගු කාලීන ණය අවදානම් සඳහා විසඳුම් ලබා දීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා වන විෂය පථය සීමා කරනු ඇති බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දේ.
ආයෝජකයින්ගේ මතය Moody’s මතයට වඩා හාත්පසින් වෙනස් – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්
මේ අතර ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ හා LMD Business Confidence දර්ශකයේ වර්ධනය දෙස බැලීමේ දී මෙරට සහ විදෙස් ආයෝජකයින්ගේ මතය මනාව පිළිබිඹු වන බවත්, එය Moody’s ආයතනයේ මතයට වඩා හාත්පසින්ම වෙනස් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (30) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ලොව ප්රමුඛ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහළ දැමීමට කටයුතු කළ බව පසුගිය සැප්තැම්බර් 28 දින නිවේදනය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
“අපි දන්නවා බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේ දී විශාල අර්බුදයක් තිබුණා. පසුගිය මැතිවරණයෙන් පස්සේ ඒ අර්බුදය විසඳුනා. දැන් අපට තිබෙනවා හොඳ පදනමක්, මේ කටයුතු කරගෙන යන්නට. ඒ නිසා රට තුළ ආර්ථිකමය ප්රතිපත්තිවල ස්ථායිභාවයකුත් ඇතිවෙලා තියෙනවා. ඒ සමඟම දේශපාලනිකවත් ස්ථායිභාවයක් ඇතිවෙලා තිබෙනවා. ඒ පදනම ඔස්සේ අපිට ඉදිරියේ දී ගමන් කිරීමට තිබෙන ගමන වඩාත් පහසු වෙනවා.“
“ඒක පෙන්නලා දෙන්න පුළුවන් කොටස් වෙළෙඳපොළේ තිබෙන වර්ධනය, ඒ සමඟම LMD Business Confidence Index වර්ධනයෙන් ඉතාම පැහැදිලි ලෙස පෙනී යනවා, මේ රටේ සහ ලෝකයේ සිටින ආයෝජකයන්ගේ මතය මේවායින් පිළිබිඹු වෙනවා. ඒකෙන් අපිට පෙනී යනවා බොහෝම පැහැදිලිව මේ රට යන දිශාව ගැන ඒ අයට තිබෙන මතය. ඒක ඉතාමත්ම වැදගත්. ඒ මතය අපිට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්නේ මූඩීස්ලාගේ මතයට වඩා හාත්පසින්ම වෙනස් වන බවයි.“