පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් හදිසියේම මුදාහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඩීල් එකක සිටින බවට සැකයක් තමා තුළ මතුව ඇති බව අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ අවධාරණය කර සිටිති.
අද (03) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රියාද් බදියුදීන් හිටි හැටියේ නිදහස් කර ඇති ආකාරය බලවත් සේ සැකකටයුතු බවයි.
මෙහිදී අගරදගුරු හිමියන් මාධ්‍ය හමුවේ එදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ඍජුවම රියාජ් බදුර්දීන් මහතාට චෝදනා එල්ල කරනු ලැබූ වීඩියෝවක්ද විකාශය කෙරිණ.
කෙසේවුවද, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ ජාලිය සේනාරත්න මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 168ක් පමණ රඳවා තබාගනු ලැබූ රියාද් බදියුදීන් මුදාහැරුණේ ඔහුට එරෙහිව සාක්ෂි නොමැති නිසා බවයි.
රිෂාද් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුව පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
රියාද් බදියුදීන් එක් බෝම්බකරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වා තිබූ බවටත්, එක් බොම්බකරුවෙකු සමඟ බෝම්බ පිපිරීමට ආසන්න කාලයේ දී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට සිට සාකච්ඡා කර ඇති බවත්, ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසීය.
එසේම විශේෂ සුභසාධන සමිති සමාගම් ඇති කර බෝම්බකරුවන් සමඟ ඒ සමාගම්වල එකට නිලතල දරමින් කටයුතු කර ඇති බවටත්, එම සමාගම්වලට බෝම්බකරුවන් මුදල් ආයෝජනය කර ඇති බවත් රියාද් බදියුදීන් ට එරෙහිව චෝදනා එල්ල වුණි.