විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය ලබාදීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එම මන්ත්‍රීවරු පස්දෙනාගේ සහය ලබා ගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් බාරගෙන ඇති බවද පැවසේ.
මෙසේ එක්වන විපක්ෂයේ මන්ත්‍රීවරු අතර විපක්ෂයට සහය දෙන සුළු පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ද ඇතැයි වාර්තා වේ.
පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිවූ සමස්ත මන්ත්‍රීවරු ගණන 145කි.
එයට ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරු 2ක්, අතාවුල්ලා පක්ෂය, පිල්ලෙයාන්ගේ පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ එක්වීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආසන ගණන 150ක් දක්වා ඉහල ගියේය.
කෙසේවුවද, මහින්ද යාපා අබේවර්ධන මහතා කතා නායක ධූරයට පත්වීමත් සමඟ දැන් ආණ්ඩු පක්ෂය සතු මන්ත්‍රී ආසන ගණන 149කි.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නම් මන්ත්‍රීවරු 150කගේ සහය අවශ්‍ය වේ.
එබැවින් විපක්ෂ මන්ත්‍රීවරු 5දෙනෙකු ආණ්ඩු පක්ෂයට ලබා ගැනීමේ මෙහෙයුම බැසිල් රාජපක්ෂ මහතා විසින් අරඹා තිබේ.
20ට ශ්‍රීලනිප පූර්ණ සහය
කෙසේවුවද, මේවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ සංශෝධනයට පූර්ණ සහය දීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.
විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කමිටුවක් පත් කළ අතර අදාළ කමිටුව ඒකමතිකව විසිවැනි සංශෝධන කෙටුම්පතට සහය දියයුතු බව තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.