fbpx
Info Sri Lanka

පාස්කු ඉරිදා ත්‍රස්ත විමර්ශනය ටෙලි නාට්‍යක්ද? දේශපාලන ගණුදෙනුවක් ද?

“ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා හා ව්‍යාපාර කළා යැයි මාස පහකට කලින් කී පුද්ගලයකු කිසිම වරදක් කළේ නෑ කියල එකවර නිදහස් වුණේ කොහොමද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරස්පරයක් මම දකිනවා. මේ පුද්ගලයා ත්‍රස්ත කණ්ඩායම සමග සම්බන්ධ වූ දුරකථන ඇමතුම් පවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපට කලින් කිව්වා. මේක දේශපාලන ඩීල් එකක්ද? ”

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මෙසේ ප්‍රශ්න කරන්නේ පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීමට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සොයුරා නිදහස් කිරීම ගැනය.

“ඔහුව අත්අඩංගුවට ගත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ගොනුකිරීමට ඇති වූ සාධාරණ සැකයක් මතයි. විමර්ශනයකදී කෙරෙන්නේ ඒ කරුණු තහවුරු වීම හෝ නිෂ්ප්‍රභ වීමයි. ඒ අනුව ඒ සැකය නිෂ්ප්‍රභ වීම සමග සැකකරු නිදහස්”

කාදිනල් හිමි එසේ චෝදනා කළ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා දක්වන්නේ එවන් අදහසකි.

කාදිනල් හිමියන් වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ක්‍රියාවලිය ගැන තම අප්‍රසාදය හා විරෝධය පළකරන්නේ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණයක් ඉටුවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමිනි. රජය බලයට පත්වීමේදී දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකරන්නේද යන්න ප්‍රශ්නයක් බව ද උන්වහන්සේ පවසති.

“පසුගිය කාලේ දුටු දර්ශනවලින් අප දුටුවේ පෙර නොවූ ආකාරයේ සුහදතාවයක් තිබෙන බවයි. එනිසා මේ පසුපස මොකක් හෝ හේතුවක් ඇතැයි අපට සැකයි. එනිසා මේ සිදුවීම ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතිවත් විනිවිදභාවයෙන් යුතුවත් දියත් කරවීමේ වගකීම කතෝලික මැති ඇමැතිවරුන් වගේම සෙසු අයටත් තියෙනවා. ”

පැවිදි හඬ සංවිධානය ද මෙම සිදුවීම ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය විරෝධය පළ කළේය. එම සංවිධානයේ මුරු⁣ත්තෙට්ටුවේ ආනන්ද හිමි ආණ්ඩුවට තම විරෝධය පළකරන්නේ විසි වැනි සංශෝධනය ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බවද අවධාරණය කරමිනි.

“විසි වැනි සංශෝධනය අපේ වැඩක් නෙවෙයි. ඒත් ජනතා අපේක්ෂා වෙනුවට වෙන වැඩ තමයි අපට දැන් පෙනෙන්නේ. බලය තහවුරු කරගැනීමට විරුද්ධවාදීන් සම්බන්ධ කරගැනීම ජනතාවට කරන මහා හානියක්. බදියුදීන් සොයුරා එකවර පිරිසිදු කරන්නේ ඇයි මේ විදියට?”

බදියුදීන් සොයුරාගේ නිදහස්වීම ගැන දේශපාලන කණ්ඩායම් අතර වූ අදහස් දැක්වීමට එක් හේතුවක් වූයේ වවුනියාවේ පැවැති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් හා ඇමැති චමල් රාජපක්ෂ අතර වූ කතාබහකි. එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන චමල් රාජපක්ෂ ඇමැතිවරයා මාධ්‍යට අදහස් දක්ව⁣මින් කියා තිබුණේ එය මහජන උත්සවයක් බැවින් විවිධ දේශපාලන තනතුරු දරන්නන් ඊට සහභාගී වූ බවය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ ගැන කියන්නේ මෙවැන්නකි.
“මගේ සහෝදරයා ව්‍යාපාරිකයෙක්. සී.අයි.ඩී එක ඔහුව අත්අඩංගුවට ගෙන මාස පහමාරක් රඳවාගෙන ප්‍රශ්න කරලා නිදහස් කළා. ඔහු හෝ මම මේ ත්‍රස්ත ප්‍රහාරයට කිසිම සම්න්ධයක් නැති බව මම එදත් කිව්වා. අදත් කියනවා. හෙටත් කියනවා.”

විසි වැනි සංශෝධනය ගැන සිය පක්ෂයේ මතය ගැන ද ඔහු මෙසේ කියයි.

“අපි වෙනම පක්ෂයක්. අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙක් ඉන්නවා. විසි වැනි සංශෝධනයේ සමහර දේවල්වලට අප පක්ෂයි. සමහර දේවල්වලට විරුද්ධයි. ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය තනිකරම ටෙලිනාට්‍ය රංගනයක් බවට පත්ව ඇත බවය.

“ඡන්ද කාලේ පැය විසි හතරේම කතා කළේ පාස්කු ප්‍රහාරය ගැනනෙ. විසි වැනි සංශෝධනයක් ගැන කතා කළේ නැහැනෙ. රිෂාඩ් බදියුදීන්ට නොකිව්වෙ මොනවද? මල්ලි ප්‍රහාරයට සම්බන්ධයි කියල ඒ ටෙලිඩ්‍රාමා එක හරි ලස්සනට කළා. දැන් මොකක්ද කියන්නේ? කිසිදු සම්බන්ධයක් සාක්ෂියක් නැහැලු. මේ දේශපාලන විකට රංගනය දැන්වත් නතර කළ යුතුයි.”

-බිඟුන් මේනක ගමගේ (fb පිටුවෙන්)

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.