කොරෝනා සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වී ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මාධ්‍යයට මෙන්ම රටේ ජනතාවටද දෝෂදර්ශනය එල්ල කළේ ඊයේ (09) දින රැස්වූ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය. එම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සම්බන්ධ වී තිබේ.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ “කොරෝනා ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතු බවත් ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බවයි. මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” යැයි පවසා ඇත.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළද පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා රට තුළ කොරෝනා රෝගීන් හඳුනාගෙන තිබියදීත් මුහුණු ආවරණ නොමැතිව ජනතාව ඒකරාශී කර විශාල රැස්වීම් පැවැත්විම බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක් විය. එසේම පළමු රැල්ල මර්දනය කිරීම පිළිබඳව විශාල ලෙස උදම් අනමින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කරනු ලැබූ ප්රකාශයන්ට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර ජනතාවට කොරෝනා වෛරස් අවධානම නොසලකා හැරීමට එම තත්වයන්ද හේතු විය. එවන් පසුබිමක ජනාධිපතිවරයා මෙලෙස ජනතාවට සහ මාධ්‍යය තමන්ගේ වගකීම් පැහැර හැරි බවට චෝදනා කිරීම සිය අසාර්ථකත්වය වසන් කර ගැනීමේ උත්සාහයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.