fbpx
Info Sri Lanka

කෝටි 25 රසායනාගාරයේ චීන PCR යන්ත්‍රය මුල පටන්ම හරියට වැඩ කළේ නෑ, අදටත් නෑ!

රුපියල් කෝටි 25ක් වැය කර තැනූ මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය නැවතත් බිඳවැටී ඇති බවත් චීන තානාපති කාර්යාලය කුමක් කීවත් මෙම යන්ත්‍රය ආරම්භයේ පටන්ම දෝෂ සහගත වූ බැවින් එය ඉවත් කර අලුතින් වැඩ කළ හැකි යන්ත්‍රයක් එම රසායනාගාරයට ලබාදිය යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

“අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයම ප්‍රකාශ කරනවා මේ මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය නැවත කැඩිලා කියලා. චීන තානාපති කාර්යාලය වරින් වර ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් තබමින් කියා හිටියා මේ යන්ත්‍රය කැඩිලා නෑ, මේ යන්ත්‍රය හොඳින් වැඩ කරනවා, මේසයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ, මේසයේ ඇදයක් නිසා තමයි මේක වැඩ කළේ නැත්තෙ කියලා.

අපි චීනයෙන් ගෙන්වූ රසායනාගාර උපකරණ අතිවිශාල ප්‍රමාණයක් මේ වෙනකොට භාවිතා කරනවා. නමුත් අපි දැක්කෙ නෑ රසායනාගාර උපකරණයක ප්‍රශ්නයක් ඇතිවුණාම තානාපති කාර්යාලයක් තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල ඒ පිළිබඳ අදහස් පළ කරනවා. මොකද මේක චීනෙට අදාළ දෙයක් නෙවෙයි සමාගම් – සමාගම් අතර තියෙන ගැටළු වෙන්න ඕනෙ. මේ සමාගම් තමා වගකියන්නේ, ඒ සමාගම්වලින් තමා අපි ප්‍රශ්න අහන්නෙ. නමුත් අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නෙ චීන තානාපති කාර්යාලය.

මෙතනත් අපට සැකයක් තියෙනවා. මේක ආධාරයක්ද නැත්නම් අපි සල්ලි දීලා ගත්ත එකක්ද ? ආධාරයක් නම් චීනයට වගකීමක් තියෙනවා. නමුත් අපි මේ රසායනාගාරය හදන්න රුපියල් මිලියන 250ක් වැය කළා. එතකොට ඒක ආධාරයක් නම් අපි සල්ලි වැය කළේ කුමක් සඳහාද ? මෙවැනි ගැටළුත් මතුවෙනවා.

කොහොම වුණත් අපි දිගින් දිගටම දරපු ස්ථාවරය තමයි මේ ස්ථාපිත කරපු යන්ත්‍රයේ කිසියම් දීර්ඝ කාලීන දෝෂයක් තියෙනවා. මේ යන්ත්‍රයත් එක්ක අපට වැඩකිරීමේ හැකියාවක් නෑ. මේ යන්ත්‍රය තබාගැනීම රසායනාගාර ධාරිතාවය කළමනාකරණය කරන්න ගැටළුවක් වෙනවා. මොකද, සඟවා තබා ගනිමින් හිටියාට මේ යන්ත්‍රය කවදාවත් හරියට වැඩ කළේ නෑ කියන එක තමයි අපි දිගින් දිගටම මතු කළේ. ඒක තහවුරු වෙලා තිබෙනවා. නැවත ඊයෙ පෙරේදා මේක කැඩුණා නෙවෙයි, මේක හැදුවා කියන දවසෙ ඉඳලාම මේක හරියට වැඩ කරලා නෑ. හැදුවා කියන දවසේ ඉඳන්ම මේක නැවත නැවත කැඩිලා තියෙනවා. මේ යන්ත්‍රයේ කිසියම් ගැටළුවක් තියෙනවා. අපි මතු කරන්නේ අතිවිශාල මුදලක් දීලා මිලදී ගත්ත යන්ත්‍රය මොන ජාතියේ යන්ත්‍රයක්ද මෙහෙම කැඩෙන්න ? මොකද ලංකාවෙ වෙනත් කිසිම තැනක මේ විදියට PCR යන්ත්‍ර හෝ විශ්ලේෂක යන්ත්‍ර කැඩීමක් වාර්තා වෙන්නෙ නෑ.

ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්නෙ නැත්නම් අපට මීට වඩා හෙළිදරව් කිරීම් කරන්න වෙනවා, මොකද මේ රටේ ජනතාවගේ මුදල් ගසාකන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකුට ඉඩ දෙන්න බැරි නිසා. මේ මුල්ලේරියාව රසායනාගාරයේ තත්වය බරපතළයි, මේ යන්ත්‍රය වෙනුවට තවත් ඒ ජාතියේම යන්ත්‍රයක් ගේන්න දැන් උත්සාහ දරමින් ඉන්නවා. මෙච්චර දෝෂ තියෙන යන්ත්‍රය වෙනුවට තවත් ඒ ජාතියේම යන්ත්‍රයක් ගෙන ඒම තුළ නැවතත් අර්බුදයට යනවා. ඒ නිසා මේ යන්ත්‍රය ඉවත් කරලා හෝ මේ යන්ත්‍රය නැවත දීලා මුදල් ලබාගෙන අපට වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනල්ලා දෙන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවන්ගේ සිය දිවි නසා ගැනීම් ඉහළට

administrator

මහින්දානන්ද රංජන්ගේ නඩු දෙකක් ඉවතට ගන්න යයි

administrator

ඉන්දියාව වෙනුවෙන් කොළඹ වරාය ගැන ජනපති බොරු කියයි?

administrator

ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී: විකුණුම් මිල රු. 196 ඉක්මවයි

administrator

සජබ මන්ත්‍රී පුත්‍රයා පුද්ගලයෙකුට පහරදී අත්අඩංගුවට

administrator

කාලි පැණිය පානය කළ තවත් දේශපාලකයෙක්ට කොරෝනා

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.