ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ද ඊයේ (28) දිනයේදී පරාජයට පත්විය. අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11ක් පමණක් වන අතර ඊට විරුද්ධව ලැබී තිබුණු ඡන්ද ගණන 17කි.
මෙම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු වන චූලංග අනුප්‍රිය අධිකාරී මහතා ඊයේ දිනයේ සභාවේ කටයුතු ආරම්භ වුණු මොහොතේම පැවසුවේ තමන්ව මැර ප්‍රහාරයකට හා පැහැරගෙන යාමකට ද ලක්වූ බවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රඹෑව ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති රැස්වීමේදී ද උණුසුම් තත්වයක් උද්ගතවී තිබිණි. ඒ, මීට පෙර 2020.11.20 වනදා පරාජයට පත්වූ එම සභාවේ අයවැය සංශෝධන සහිතව සම්මත වූ එකක්යැයි පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කර ඇති බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවට දැනුම් දීමත් සමගය. මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළ අතර එම සභාවේ උප සභාපති දිනේෂ් පරාක්‍රම මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙවැනි ප්රජාතන්ත්ර විරෝධී ආකාරයෙන් ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑම යනු ජනමතය නොතකා රාජාණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යාම හා සමාන බවයි.
එමෙන්ම පොහොට්ටුවට බලය හිමි රඹෑව ප්‍රාදේශීය සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී එහි සභාපතිවරයා ධුරයෙන් ඉවත් වියයුතු බව පවසමින් මන්ත්‍රීවරුන් 17 දෙනෙකුම සභාවෙන් පිටව යනු දක්නට හැකිවිය. එම සභාවේ උප සභාපති සාලිෆ් කයිදු මහතා මාධ්‍ය වෙත පැවසුවේ ජනතා ගැටළු ප්‍රාදේශීය සභාවේදී ඉදිරිපත් කිරීමට ඇති අයිතියට පයින් ගසමින් සභාපතිවරයා කටයුතු කරමින් සිටින බවකි. එම ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ද මීට පෙර පරාජයට පත්වී තිබිණි.