පසුගියදා පැවති ලංකා ප්‍රීමියර් ලීග් පළමු අදියරේ තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ බිල්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙම තරගාවලියේ සියලු සංවිධාන කටයුතු IPG ආයතනය විසින් සිදුකළ අතර තරගාවලියට පෙර ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රිකට් ආයතනයේ හෝ රජයේ කිසිදු මුදලක් වැය නොකරන බවයි.
කෙසේ නමුත් තුෂාර ඉඳුනිල් මහතා ක්‍රීඩා ඇමතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ රුපියල් කෝටි 04 කට වැඩි බිල්පතක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවා ඇති බවයි. මෙම බිල්පත ආහාර සහ සෙසු වියදම් සඳහා පමණක් වන බවත්, මීට අමතරව ඌව පළාත් සභාව හරහා තවත් රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් වැයකර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි වියදමක් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා වී නොමැති බවයි. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මෙම තරගාවලිය හේතුවෙන් රජයට හෝ ක්‍රිකට් ආයතනයට කිසිදු පාඩුවක් සිදුව නොමැති බවත්, විවිධ බාධ මධ්‍යයේ තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව වගකීමෙන් යුක්තව ප්‍රකාශ කළ හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා.